පරිත්‍යාග

“මහත්තයා”

“ම්ම්ම්….”

“අද මට ක්ලිනික්…”

“අප්පා…තව ටිකෙන් අමතක වෙනව…එහෙනං ඔයා ලේස්ති වෙලා කඩේ ගාවට එන්න..මං ලොකු මහත්තයට කියල ටික වෙලාවක් ඉල්ලගන්නං”

“හා…ම්
මේං බත් එක….”

මොහොතක් මින්දුලී දිහා ආදරෙන් බලන් උන්නු තිමිර පහත් වෙලා නලලට හාදුවක් දුන්නා.

“මං එනකම් සුදු හාමිනේ පරිස්සමට ඉන්න ඕන අපේ දඟමල්ලත් එක්ක හරිද”

“පරිස්සමට යන්න සුදු මහත්තයෝ….”

මින්දුලී එයා එක්කම දොරකඩට ආවා. ආයෙමත් එයා පිටිපස්ස හැරුනේ තිමිරගෙ බයිසිකලේ සද්දෙ මැකිලා ගියාටත් පස්සෙ.

මිංදුලී අමා අබේනායක. උප්පැන්නෙට වාසගමක් තිබුනත් නමක් දීපු අම්මෙක්ගෙ අප්පෙක්ගෙ ඡායාවක්වත් දැකගන්න පිනක් තිබුන කෙල්ලෙක් නෙවෙයි මින්දුලී කියන්නෙ. අවුරුදු තුනේ ඉඳලම ළමා නිවාසෙක බිත්ති හතරකට කොටු වෙච්ච, පිටස්තර ලෝකයක් කියල ඉස්කෝලෙ එක්කම විතරක් මුහුවෙච්ච මේ ලෝකෙ ඉන්න ගොඩක් ලමයින්ට ලැබෙන සුන්දරයි කියන ලමාකාලයක් නොලැබිච්ච කෙල්ලෙක් තමයි මින්දුලී.

ලමා නිවාසෙ ඉන්න හැම ලමයෙකුටම වගේ මින්දුලීටත් සිද්ද වුනේ අවුරුදු දහඅට පිරෙද්දිම එයාට තිබුන එකම හෙවනත් අතෑරලා යන්න.. මුලු ජීවිත කාලෙටම තමන්ගෙම කියල ආදරයක් නොලැබිච්ච මින්දුලීගෙ තනිකඩ හිතට ආදරේ කියන තෙතමනය දෙන්න පුලුවන් උනේ තිමිරට. ලමා නිවාසෙ න්ම හොයල දීපු ගාමන්ට් එකේ ජොබ් එකට යනකොටයි මින්දුලී ට තිමිරව මුණ ගැහෙන්නෙ.

දෙන්නගෙම පඩිය එකතු කලත් මාසෙ ජීවත් වෙන්න බැරි තත්වයත් තියෙද්දි උනත් තිමිර මින්දුලීව කසාද බැඳල රස්සාවට යන එක නැවැත්තුවා.. ඒ පුලුවන්කමකට නෙවෙයි…ඒකෙන් උනේ එයාට ගාමන්ට් රස්සාවෙන් අයින් වෙලා වැඩිපුර මහන්සි වෙන රස්සාවක් හොයාගන්න..

“මම කවද හරි හිතන් හිටියෙ සුදු හාමිනේ මම කසාද බඳින ගෑණු ලමයගෙන් හම්බ කරන් කන්නෙ නෑ කියල..”

හැමදාම මින්දුලීගෙ ප්රශ්නෙට තිමිර දුන්නෙ ඒ උත්තරේ..ජිවිතේ කවම කවදාවත් තමන්ගෙම කියල කෙනෙක්ගෙ අයිතියක් නොතිබුන කෙල්ලෙක්ව ජීවිතේට ලං කරන් ආදරේ දීලා, ඇස් දෙක වගේ පරිස්සම් කරන ඒ රළු පිරිමි අත්දෙක මින්දුලීට හැමදාටම මහමෙරක් වගෙයි දැනුනෙ.

මින්දුලී හිමීට ලෑස්ති වුනා.. දෙන්නම හිටියෙ එයාලගෙ පලවෙනි දරුවා බලාපොරොත්තුවෙන්..දඟමල්ලව එලියට ගන්න අම්මට වැඩිය හදිස්සියක් තිබුනෙ තාත්තට.

“මට හිතෙනව මින්දුලී අපි දෙමව්පියො වෙනව කියන ආරංචිය ලැබෙනකොටම දරුවා එලියට එනවනං කියල…”

“මාස දහයක් කියන්නෙ දෙයියනේ කොච්චර කාලයක්ද??? සුදු හාමිනේ…අපේ චුට්ටව ඉක්මනට එලියට දෙන්නකෝ…..”

සමහර වෙලාවට තිමිර මින්දුලී ගෙන් අහන්නෙ නහයෙන් අල්ලල හොලවන ගමන්..

මින්දුලී හිමිහිට ⁣ලෑස්ති වෙන අතරෙ ෆෝන් එක රින්ග් උනා..

“සුදු හාමිනේ ඔයා දැන්ම එනවද”

” මහත්තයා මං තාම ගෙදර අනේ…තව පැය කාලක් දෙන්නකෝ..”

“හා හා…බස් එකේ නගිද්දි පරිස්සමෙන් හොඳේ…ඇවිත් මට කෝල් එකක් දෙන්නකො රත්තරං..බුදුසරණයි”

“බුදුසරණයි මහත්තයෝ”

හිමීට ලෑස්ති වෙලා ගෙදරින් එලියට බහිද්දි හිතුවට වඩා පරක්කු වෙලා තිබුනා..කොහෙද ඉතිං වෙනදට වගේ දුවල පැනල දේවල් කරගන්න පුලුවන්කමක්යැ…පාරට ආව ගමන්ම බස් එකත් ආවා.

ජනේලෙ අයිනෙම සීට් එකක වාඩිවෙච්චි මින්දුලී හුලං වදින්න ජනේලෙත් අැරගත්තා.

“සුගතදාස ගෑස් ෂොප් එක පුපුරලලු”

පිටිපස්සෙ සීට් එකේ හිටපු ගෑනු මනුස්සයෙක් හයියෙන් හයියෙන් කාටද කිව්වා..

“නම නම් අහල හුරුයි වගේ….” ජනේලෙන් එලිය බලාගෙන යන ගමන්ම මින්දූලී හිතුවා.

” අහල පහල තිබුන ශොප්ස් ගානකටම පැතිරිලා ගිහින්ලු..දැනට නම් කියන්නෙ කවුරුත් බේරිලා නෑ කියලලු…” කොන්දොස්තරත් ඒ කතාවටම එකතු වුනා..

එකපාරටම හීනි විදුලියක් කෙල්ලගේ අැඟ පුරාවටම විහිදිලා ගියා.ඒක දැනුනෙ හරියට ඇඟක් නැති ආත්මයක් විතරයි වගේ..

“මහත්තයා….” මගේ ඇඟේ තිබුන හැම සෛලයක්ම එකපාර කෑගැහුවා වගේ මින්දුලීට දැනුනා…දෙයියනේ…තිමිර වැඩකලෙත් සුගතදාස ෂොප් එක එහාපැත්තෙ තිබුන රබර් ෂොප් එකේ..

අවසිහියෙන් ෆෝන් එක අතට අරගත්ත මින්දුලී අංක එබුවා…..

“ඔබ ඇමතූ ග්‍රාහකයා මේ මොහොතේ සම්බන්ධ කල නොහැක..කරුණාකර පසුව අමතන්න”…..

පිස්සුවෙන් වගේ ෆෝන් එකේ අංක ඔබ ඔබා කෙල්ල සියක් වතාවක් තිමිරගෙ නම්බර් එකට ඩයල් කලා..බහින්න ඕන කොතනද කියලවත් නිච්චියක් තිබුනෙ නෑ..

“මිස් චතුරස්‍ර පාර වහල අර ගින්න නිසා..තාම පැතිරෙනවලු .ඒ නිසා අපි පොලීසිය ගාවින් ඇතුලට දාල ස්ටෑන්ඩ් ගහනව..මිස්ට මෙතනින් බහින්න වෙනව..”

කොන්දොස්තර ලඟටම ඇවිත් පාත්වෙලා කියපු සද්දෙට මින්දුලී එකපාරට නැගිට්ටා…අඩුතරමෙ බස් එකෙන් බැස්සෙ කොහොමද..බස් එක නැවැත්තුවද කියලවත් සිහියක් උනේ නැහැ..

දුම් කාගෙන සෙනඟ පීරගෙන මින්දුලී ගියේ දැනටත් ඇවිලෙන කඩ පේලිය හොයාගෙන…මනුස්සයෙක් තියා ඉතුරු යකඩ කෑල්ලක් හොයාගන්න බැරිවෙන්නම වටේම ඇවිලිලා ගිහින් …ඇම්බියුලන්ස් ගානකින් අඟුරු වෙච්ච මිනී දෙක තුනක් ම අරන් යනවා අහිංසකී බලන් හිටියෙ අවසිහියෙන් වගේ..

මින්දුලී ආයෙමත් හැරුනා..හයියෙන්ම කෑ ගහල අඬන්න ඕනකමක් තිබුනත් දුම ඒක අවහිර කලා…මේ ගින්නටම පැනලා මැරෙන්න ඕනකම තිබුනත් කකුල් මෙහෙයෙව්වෙ මුහුද පැත්තට.

“කාත්කවුරුවත් නැති මාව ලඟට අරගෙන මාව ජීවත් කලේ ඔයයි තිමිර…මට දරුවෙකුත් දීලා දරුවා ඉපදෙන්නත් කලින් දරුවගෙ උප්පැන්නෙට නම දාන්නත් කලින් ඔයා මටත් නොකියාම මාව දාල ගියාම හරියනවද මගෙ මහත්තයෝ…ඔයා නැතුව, මේ ලෝකෙ කවුරුවත්ම නැතුව කිරිසප්පයෙක් එක්ක මං කෝමද තනිවෙන්නෙ මගෙ දෙයියො…..”

කඳුලු මින්දුලීව මෙහෙයෙව්වෙ මුහුදු රල දිහාවට…තිමිරගෙත් එයාගෙත් ගෙයුන ලස්සන මතක එයාව පිස්සියෙක් කලා. ඉස්සරහින් එක රළගෙඩි කොයිතරම් දරුණුයිද කියන්න අහිංසකීට අදහසක් තිබුනෙ නෑ….රලගෙඩි මැද්දෙන්ම ඉස්සරහට ගියපු කෙල්ල නතරවුනේ හැඩිදැඩි අතකින් එයාව අනිත් පැත්තට ඇදල ගනිපු නිසා..

“සුදු හාමිනේ…., මොනවද රත්තරනේ ඔයා මේ කරගන්න ගියේ…ඔයාගෙ තිමිර ඔයාට නොකියා කොහේ යන්නද වස්තුවේ…”

“තිමිර” මගෙ මහත්තයෝ….ඔයා මාව දාලා ගියේ නෑ නේද රත්තරනේ…”

ඒ රළු පපුවටම තුරුලු තව තවත් තුරුලු වී ගෙන මින්දුලී ඇහුවෙ මුණවත් නොඋස්සා..වෙන කවරදාටවත් නොදැනුන තරමේ ආදරයක්, ආරක්ෂාවක් එයාට දැනෙමින් තිබුනා..

“සුදු හාමිනේව දාලා මම කොහේවත් යන්නෙ නෑ….අපි දැන් යමු…”
…………………………………………………………………………………………………………………………………………..

දැන් මින්දුලී දරුවො දෙන්නෙක් ඉන්න අම්මෙක්..ඒත්…කෝප්‍රල් දෙනුවන් අදටත් මින්දුලිගෙ මැරිච්ච මහත්තයා තිමිරගෙ චරිතෙට පණ දෙනවා..එදා මුහුදට පැනලා ජීවිතේ විනාස කරගන්න හැදුව මින්දුලීව බේරගන්නෙ නිවාඩුවට ගමේ යන කෝප්රල් දෙනුවන්. එදා දෙනුවන් බුද්ධිමත්ව වැඩ නොකලනම් අද මින්දුලීත් කිරිසප්පයත් ගෑස් පිපිරීම හින්ද අකාලයේ මියැදුන තිමිරත් එක්කම ලෝකෙන් හැංගිලා ගිහින්..දරුවෙක් එක්ක උනත් මින්දුලිව බාරගෙන මන්දුලී තිමිරගෙන් හෙවව ආදරේ රැකවරණය දෙනුවන් අදටත් දෙනවා..

ඒත්..කවමදාකවත් දෙනුවන්ට තමන්ගෙ අනන්‍යතාවෙන් මින්දුලී ඉස්සරහට යන්න වෙන්නෙ නැහැ..ඒ මින්දුලීට ඒ ඇත්ත දරාගන්න බැරිව මානසික රෝහලක බිත්ති හතරකට කොටුවෙයි කියලා දොස්තරවරු කියන නිසා..කොහොම මොන දේ කරත් අදටත් මින්දුලීගෙ තිමිර විදියට දෙනුවන් මින්දුලීව බලාගන්නවා. ඒක තමයි සැබෑ ආදරේ කියන්නෙ..ආදරේ කියන්නෙ හිමිකර ගැනීමක් නෙවෙයි පරිත්‍යාගයක් කියල කියන්නෙ මෙන්න මේ වගේ මිනිස්සුත් ලෝකෙ අතලොස්සක් හරි ජීවත් වෙලා ඉන්න නිසා වෙන්න ඇති…….

“සමාප්තයි”

Related posts

Leave a Reply