නාඳුනන හුස්ම නුඹයි෴

නාඳුනන හුස්ම නුඹයි෴

ජීවි⁣තේ අපි නොදැක්ක පැතිකඩවල් ගැන හිතට දැනෙන සිතුවිලි අකුරු කරන දඩබ්බර හදවතක්…දඩබ්බර හදවත නොකීව කතාවක්… කාටත් රහසින් අකුරු වුණ මොහොතක්..

“උඹ කොහෙද බන්”

“ලියන උන් ටිකක් සෙට් වෙනව ලගදි මන් කියන්නම්

“බෝතල් මන් ගානේ… උබත් වරෙන්…”

“අම්මටසිරි අක්ක කෙනෙක් ද මේ”

Request එකක Accept කලාට මොකද.. චැට් එකේ ඉන්⁣නේ කවුද කියලවත් දන්නේ නැති මැට්ටෙක්.. මට හිතුණේ එච්චරයි..

“දැන්ද profile එක බැලුවේ”

“සොරි බන්.. දැන් දැක්කේ මං…” උඹ එහෙමයි අකුරු කලේ..

මගේ ඊළඟ ප්‍රශ්නේ..

“පාර්ටියක්ද.. වෙල් ෆැන්ටා තියේවිද මචෝ..

“ඊයා වෙල් ෆැන්ටා…” ඔන්න ඔහොමයි උඹ උත්තර දුන්නේ

“ඔව් ඔව්.. සැකයක් නැතිව බොන්න පුළුවන් ගමේ දෙවල්නේ.. අපේ දේවල් අගයන්න ඕනනේ මචෝ..”

“Man beth gnna yanawa”

“ඊයෙ උදේ ඉදන් බිව්වා… රෑ මොනා හරි ජරාවක් කාලා..” උඹ කිව්වේ එහෙම..

එතකොට මම…

“හිතුවද ජරාව බොද්දි හොද කෑම දෙනවා කියලා… අඩේ ජරාව කෑවේ… පොලිසියෙද වැඩ..”

“අපෝ නෑ”

“මන් ඔක්කොම පොලිසි අදුරනව බන්..” උඹත් අහගෙන ඉදලා දීපු ටෝක කොහොමද… ගින්දර වගේ නේ…

හැබැයි පොඩ්ඩා පොලිසිය ගෑවුණත් ඇති. ඒක තමයි ඇලජික්… ඇට රිලව් එයාලා. ඉස්කොලේ කාලේ දවසක් දකුණු පැත්තෙන් ගිහිල්ලත් වම් පැත්තෙන් ආවා කියලා බැන්නා පාර මැද්දේ මීහරක් එයාලා…”
මේ වගේ දිග හෑල්ලක් කියෙව්වා කියහන්කෝ..

“තනි⁣යම බොද්දි ඔහොම වෙනවා… අපිට දුන්නේ නෑනේ…”

මම ඔහොම කියද්දි උඹ අහනවා…

“ඔයා බොනවද”

“පිස්සුද යකෝ මම බොන්නේ නෑ ජරාව.. බොනවා වගේ කතා කලාට…”

ඔය විදියට ඇදුනා කියහන්කෝ ඉතින් චැට් එක..

කොහොමින් කොහොම හරි Profile එකත් බලලා උඹ අහනවා මගෙන්…

“ලස්සන බූටක් කාල වගේ”

ඉතින් බලපන්කෝ මෝඩයා වගේ අහපු ⁣දේ…

“පිස්සුද යකෝ අපි ලියන හැමදේම අපේ ජීවි⁣තේ නෙවිනේ…”

නොහඳුනන ඩේටා බැඳීම් බලහන්කෝ ගිය දුර..

“ඉතින් කියමුකො විස්තර ටිකක්”

“විස්තර මොනාද බන්.. මැර කෙල්ලක්.. එච්චරයි..”

“මැර කෙල්ලො කොහෙද බන්..”

“මේ ඉන්⁣නේ යකෝ..”

“හිනස්සල මරන්න එපා බන්..”

“මට ඔය චන්ඩි කෙල්ල බලන්න විදියක් නෑනේ.. යකඩ මාල දෙක තුනක් දාලා..ටැටූ එකක් ගහලා.. ඒම වෙන්නැති ඇත්තේ..”

බලපන්කෝ ඉතින් නෝන්ඩි කරපු විදිය මේකා මාව..

“ඇයි තව අර හැමොගෙම යකඩ හීනේ එකකුත් තියේ. බෝම්බ තුවක්කු තව මොනවද බන් මැර⁣යෝ ළග තියෙන්නේ..” මම කිව්වේ එහෙමයි..

“රියල් මැරයො ළඟ ඔව්වා නෑ බන්… හරිම විනීතයි.. කතා කරන්නෙ ඇහෙන්නෙ නැති ගානට.. සද්ද නොකර අහන් ඉන්නවා.. අහන් ඉන්න බැරි තැන ආව ගමන් කිය කිය ඉන්නේ නෑ වැඩේ ඉවර කරල දානවා..”

“ඇත්ත මැරයෙක්ද ඔයා.. මම ඔයාව unfriend කරනවා එහෙනම්.. මම මැරයෝ එක්ක චැට් කරන්නේ නැතෝ..”

ආයෙමත් එක තැනකදි උඹ ලිව්වේ මෙන්න මෙහෙම දෙයක්..

” මගෙ අකුරු තරම් ජීවතේ ලස්සනක් නෑ බන්
කාලමකන්ණි ජීවිතේක සුපිරි උරුමක්කාරයෙක්  ”

සිතුවිලි අකුරු කරන උඹ කියනවා බන් උබේ ජීවි⁣තේ ලස්සන නෑලු.. බලපන්කෝ ඉතින් කියන කතාව.. හරියට අපි ඇවිත් හැඩි කරලා ගිහින් වගේ.. අර උඹ කියපු වචන ටික “කාලමකන්ණි ජීවි⁣තේ සුපිරි උරුමක්කාරයෙක්” කියන එක.. අන්න පට්ට වචන ටික බන්…

තවත් එක තැනකදි උඹ කියනවා බන්..

“මන් කැමති නෑ මන් එක්ක ඉන්න උන්ට මගෙ ඇතුලෙ ජීවත් වෙන මනුස්සය පෙන්නන්න.. මම තනිකරම යකෙක්”

උඹනේ බන් කියන්නේ උඹ යකෙක් කියලා.. එහෙම බැලුවොත් බන් හැම මනුස්සයෙක්ගෙම සිතුවිලිවල හැංගිලා ඉන්නවා අමුම අමු තිරිසන් යක්කු…

උඹ කොච්චර අඩබෙර ගැහුවත් උඹ යකෙක් උඹ කාලකන්ණියෙක් කියලා උඹත් දන්නවා මම වගේම උඹට වඩා කාලකණ්ණි උන් කොච්චර නම් ඉන්නවද කියලා..

ආදරයක් ගැන දන්නේ නැති උඹ මගෙන් අහනවා බන්..

“ගෑනියෙක් මොනවගේද” කියලා..

බලපන්කෝ ඉතින් ඔය ප්‍රශ්නේම කරකවලා මම ඇහුවොත්…

“පිරිමියෙක් මොනවගෙද” කියලා.. උඹ මොකද කියන්නේ..

ආයෙමත් උඹ කියනවා ආදරේ කියන්නේ…

“ඒ හැගීම් කොහොමද” ⁣

ගැහැනියක…

“මොනාද ඉල්ලන්නෙ”

“මොනාද හොයන්න”

බලපන්කෝ මෙතන තියෙන නොගැලපීම.. ගෑනියෙක් මොන වගේද කියලා දන්නේ නැති උඹ අහන දේවල්..

උඹ දන්නවා ගැහැණියක් මොනවා හරි දෙයක් ඉල්ලනවා කියලා… මොනවා හරි දෙයක් හොයනවා කියලා.. ඒත් උඹට තේරුම් ගන්න බැරි අදහස් අස්සේ.. උඹ උඹවම අකුරු කරද්දි උඹට නොදැනුනා කියලා හිතන්න බෑ මට.. උඹන් ඈ සොයන්නේ… උඹගෙන් ඈ ඉල්ලන්නේ ජීවි⁣තේ කියලා..

“කසාදය”

“ඒක විකාරයක්”

“එක ගෙදරක්”

“තනි ලෝකයක්”

“ප්‍රශ්න වැලක්”

“බර වැඩියි බන්”

කසාදය ගැන මේ විදියට හිතන උඹ.. පවුල් ජීවි⁣තේක රහ දන්නේ නැති උඹ මට කියනවා බන්..

“ගෙදර යතුර දෙන්නෙ ගෑනිට”

“මොකද ගෑනි තමයි ගෙදර නීතිය”

“‘ගෑනි දැනගන්න ඕනලු මිනිහව හදාගන්න”‘

උඹ කොච්චර කොහොම කිව්වත් කසාදය විකාරයක් නම් උඹ කොහොමද මේ තරම් දෙයක් කසාද ගෑනිගෙන් බලාපොරොත් වෙන්නේ..

මට දැනෙන්නේ කැමති නෑ උඹ බැදීම් ඇතුලේ හිරවෙන්න.. උඹම කියනවනේ ඒ බැදීම බර වැඩි කියලා.. අරක්කුම ජීවි⁣තේ කරන් ප්‍රශ්න නැතුව ජීවි⁣තේ විදින්න පුළුවන් නම් පිරිමි වෙච්ච උඹලට වඩා ගෑනු බොනවා බන්..

ඒත්..

උන් දන්නවා විසදුම තියෙන්න සිගරට් දුම අස්සෙවත් අරක්කු බෝතල් අස්සෙවත් නෙවි කියලා… දරාගන්න බැරිම තැන අතහරින්න තීරණය කරාම බැදීම.. ලෝකයා දොස් කියනවා.. ගැහැණු හදවත් චපලයි කියලා..

නාඳුනන දෙදෙනෙක් අතර දිග්ගැහුණ කතිකාවත..

මම කියනවා බන් උඹට…

“යකෝ මේ චැට් එක ඇදුනා වැඩි. අනික නාඳුනන එකක්” කියලා..

උඹ කියනවා බන් මෙහෙම කතාවක්..

“මොන මිනිහත් නාඳුනන බන්”

“බල්ල හපනව”

“නයා දශ්ට කරනව”

“ඒත් මිනිහ මොනා කරයිද කියල අපි දන්නෙ නෑ බන්”

බලකෝ ඉතින් එකකට එකක් නොගැලපෙන තර්ක.. ආදරේ ගැන.. කසාදේ ගැන.. ජීවි⁣තේ ගැන.. අපිට හිතන්නවත් බැරි තරම් දුරකට හිතලා.. සිතුවිලි වලින් පරිණතයි උඹ.. එකඟයි බන් මම මට තියෙන්නේ පොතේ දැනුම විතරයි…

ආයෙම උඹ කියනවා…

“උබල තාම පොහොට්ටු බන්”

“පට්ට විසයි සමාජෙ”

එකම වයසේ උනාට.. උඹයි..මමයි..ලෝකෙන් අරික්කාලක්වත් ස්පර්ශ කරලා නැති මමයි… සමාජේ එක්කම ගැටිලා පරිණත වුණ උඹයි සිතුවිලිවලින් අහසයි පොළවයි වගේ..

“පපුවක් නෑ”

“මට හිතක් නෑ”

“මට දැනෙන්නෙ නෑ”

මේවිදියට කියන උඹයි බන් කිව්වේ “පට්ට විසයි සමාජේ.. උඹලා තාම පොහොට්ටු” කියලා..

එක තැනකදි ආයෙම උඹ මට කියනවා…

“අද බිසී හුගක්…”

“අද මොකද කළේ”

“මනමාලයෙක් බලන්න ගියා බන්..” විහිලුවකට ව⁣ගේ මම කිව්වා එහෙම.. අම්මෝ ප්‍රශ්න කෝටියයි…

“හෆ්ෆා”

“ඉතින්”

“කොල්ලා ලස්සන ද”

“සල්ලි තියනවද”

“උපාධිය තියනවද”

“ජොබ් එක හොදද”

“කුලේ හොදද”

“හදහනේ ග්‍රහයො සෙට්ද”

බලපන්කෝ තිබුණ ප්‍රශ්න ⁣තොගය… යකෝ මනමාලයෙක් ආව දවසකට මටවත් ඔච්චර ප්‍රශ්න මතක්වෙන එකක් නෑ.. මාත් ඉතින් පිළිවෙලට උත්තර දුන්නා…

“කොල්ලා හැන්ඩියා”

“සල්ලි ඕන නෑ අපි හම්බකරගන්නවා”

“උපාධි මට තියේනේ එයාට ඕන නෑ”

“ජොබ් ඕන නෑ”

“කුල අදාලම නෑ”

හදහන් මොකටද.. ආදරේ නම්.. විස්වාස නම්.. රාහුකා⁣ලේ වුණත් බදිනවා..

එතකොට උඹ කිව්වේ මෙච්චරයි…

“අන්න මරු…. එකෙන්ම”

මම කිව්වේ මෙච්චරයි…

“ඒකනේ බන් මිනිස්සු මේ ⁣බොරුවට මැරෙන්න හදනවා.. පිස්සු අප්පා… උන්ට පිස්සු…”

“ඒ උබට මට”

“නැතුව මිනිස්සුන්ට නෙවෙයි”

එහෙම කියන උඹම… තවත් වෙලාවක කියනවා…

“මිනිස්සුන්ට බනින්න එපා”

උන්..

“ආදරේ කරනවා”

“ජීවිතේ විදනවා ”

මොකද්ද බන් උඹ ඒකෙන් අදහස් කලේ.. උඹ තරම්වත් සතුටක් විදින්නේ නැති උන් කොයිතරම් ඉන්නවද..

පලකෝ දවසක් මහරගම පිළිකා රෝහලට.. කළකිරෙනවා බන් උන් මැරෙනවා කියලා දැන දැනම ජීවත්වෙන්න පෙරුම් පුරනවා..

උඹ ආයෙම කියනවා මට… අනිත් උන් ආදෙරේ කරද්දී… ජීවි⁣තේ විදිද්දි…

“හැබැයි මම කැප කරනවා”

“නෑ විදෝනව මම”

කැපකිරීම් නම් කරන්න ඇති… ඒත් විදවන්නේ උඹ විහින්මයි.. ප්‍රශ්නවලට උඹ උත්තර හෙව්වේ කාලකණ්ණි ජීවි⁣තේකට සැනසීම හෙව්වේ වෙනස්ම විදියකට..

“ඇබ්බැහි වෙලා ඉවරයි බන්
මැරෙන බව දැන දැන
දිය වෙන බව දැන දැන
ඒක ඇස් පියන් අදිනව
කාලකන්නි ජීවතේ දෙවියන්ට බාරයි”

බලපන්කෝ මුළු ජීවි⁣තේම උඹ පේලි පහකට සීමා කරපු අපූරුව.. සම්පූර්ණ ජීවි⁣ත කතාවම කිව්වා උඹ.. බලපන් උඹ වචන අස්සේ ජීවි⁣තේ හැංඟිලා බන්…

ඔව් උඹ උබේ මුළු ජීවි⁣තේ සින්න කලේ.. මුළු ජීවි⁣තේම ලිව්වේ අරක්කු සිගරට් 🚬 එක්ක.. වැරදුනා නම් උඹට ජීවි⁣තේ අන්න එතනයි තැන.. උබේ ජීවි⁣තේ පෙරළියක් උන හැරවුම් ලක්ෂයක් එතන..

අවුරුදු පහළවේ ඉදන් උඹ හම්බ කලාලු.. මොනවද උඹ හම්බ කළේ… උත්තරේ හරිම ලේසි.. අකුරු තුනයි.. “ස_ල්_ලි”

“වැඩක් නෑ බන් සල්ලි උඩ ජීවි⁣තේ සින්න කරලා.. තනිකමට බෝතලේ බදාගෙන වැඩක් නෑ..” මම කිව්වේ මෙහෙමයි උඹට..

එතකොට උඹ කියනවා මට..

“අන්න ඒක අද මට තේරෙනව බන්”

ඒත් බන් උඹට ඒක දැනෙන කොට උඹ ජීවි⁣තේ හුඟක් දේවල් මඟහැරගෙන.. හැබැයි තාමත් උබේ ජීවි⁣තේ එතනමයි.. මම එහෙම කියද්දි උඹ කියනවා..

“මට ඕව දැනෙද්දි”

“මට ඔක්කොම මග ඇරිලා”

මඟහැරුණ කියලා දන්නවනම්.. අතහැරුණා කියලා දන්නවා නම් ඇයි වැරදුන තැනින් ජීවි⁣තේ හදාගන්නේ නැත්තේ..

අන්තිමටම මම කිව්වා උඹට වෙනස් වෙන්න පුළුවන් නම් ආයේම හිතපන් ජීවි⁣තේ ගැන.. අලුත් විදියට ජීවි⁣තේ දකිමු.. ආදරේ කරමු.. තේරුම් ගන්න බැරි බැදීම් තේරුම් ගන්න උත්සහ කරපන්..

ඔක්කොම අවසානේ උඹ අහනවා මගෙන්..

“ඇයි මොකෝ මම වෙනස් උනානම් මාව බදිනවද?” කියලා..

බලකෝ ඉතින් ලොකුම ලොකු ප්‍රශ්නාර්ථයක් ඉතිරි කරලා උඹ මට…

ඇත්තම කිව්වොත් මම.. උඹ වෙනස් වුණා කියලා උඹව බඳින්නේ නෑ.. උඹ මෙහෙම අහපන්කෝ..

“‘මම වෙනස් වෙන්නේ නෑ උඹ මාව බඳිනවද..”‘

අන්න නියම තැන.. එහෙනම් මම කියන්නේ ඔව් උඹව බඳිනවා කියලා..

මොකද ඇත්ත කතාව නම් ⁣වෙනස්වෙනවා කියලා කොයි විදියට කෑ ගහලා කිව්වත්.. එක පාරක් නැමුන කඩදාසියක් ආයෙමත් එතනින් නැමෙනවා කියලා මම වගෙම උඹත් දන්නවා..

උඹ වෙනස් නොවි ඉදපන්.. මම කියන්නේ නෑ උබේ විදියට මම වෙනස් වෙනවා කියලා.. හැබැයි ⁣උඔ දන්නවා නම් උඹට වැරදුන තැන.. එ් තැන හදාගන්න පුළුවන් කියල උඹට උඹව විස්වාස නම්..

උඹ තෝරගනින් උඹත් එක්ක උඹගේ කවියට පද ගලපන… ඇයටම අනන්‍ය වුණ රිද්මයකට.. උඹත් එක්ක පද ගලපපු කවියට තාලයක් දෙන එකියක්.. එදාට සත්තමයි මධු යහන ගිනි ගෙන නොදැවේවි..

Related posts

Leave a Reply