මිතුදමක සෙනෙහේ…

” හෂියෝ…..ඉක්මනට වරෙන් බන් පරක්කු වෙනවා..බොට මැසේජ්එකක් දැම්මට රිප්ලයිත් නෑ”

සුපුරුදු විදියටම උදේ ක්ලාස් යන්න ධනීෂ අපේ ගෙදරට ගොඩවැදුනේ කෑගහගෙන.

“මොකද්ද බං උඹ කරන්නේ….ෂිකේ..මටත් ලැජ්ජ නැතුව හැමදාම එනවනෙ මෙහේ පාඩුවෙ හංදියෙන් හැරිලා ෂේප් වෙලා යන්නැතුව”

පොත් ටිකක් මේසෙ උඩට වැටෙන සද්දෙත් එක්ක පුටුවක රැල් බුරුල් වෙන සද්දෙත් ඇහුනා. එකත් එකටම වාඩිවෙන්නැති.

“පොඩ්ඩක් ඉන්නෝ…..මේ එනෝ…..” තාම ලේස්ති වෙන්න හිතලවත් තිබුනෙ නැති මම කෑ ගැහුවෙ දඩබඩ ගාලා අල්මාරිය අරින ගමන්.

ඒ වෙද්දිත් මම හිට්යෙ phone එකේ. දැන් මට නිතරම phone එකේ ඉන්න සෑහෙන්න හේතු කාරණා තියෙනව.

“උඹ තාම ඇඳලවත් නෑ නේ??? අදත් නැගපන්කො උදේ පාන්දර සැමට පේන්න ස්ටේජ්”

ඉස්සරහ පැත්තෙන් හූල්ලන සද්දයක් ඇහුනා. ක්ලාස් එකට පරක්කු වෙලා එන ලමයින්ව ස්ටේජ් එකට නග්ගවන සම්ප්‍රදායක් අපේ ක්ලාස් එකේ තිබුනා.

කියන්න සතුටුයි ධනීෂත් මාත් මාසෙට අඩුම දෙපාරක් ස්ටේජ් එකේ ගරු සැලකිලි ලබනව දාස් ගානක් ලමයි ඉස්සරහ.

ධනීෂ ඉතිං ඒ රැග් එක කෑවෙ මං නිසා..කොහොම උනත් තනියම ස්ටේජ් නැගල චාටර් වෙනවට වඩා තව කවුරුහරි එක්ක ඒකෙ ඉන්නකොට හිතට පොඩි ෆිට් එකක් තියෙනව.

විශේෂයෙන් හොඳම යාලුවා එක්ක ඉන්නකොට. ධනීෂයි මායි අඳුන ගත්තෙ ඉස්කෝලෙ යද්දි.

සාමාන්‍යයෙන් නම් පොඩි කාලෙ එකට ඉන්න කොල්ලො කෙල්ලන්ට ලොකු වෙද්දිනේ එකාට එකා පෙන්නන්න බැරි වෙන්නෙ.

ඒත් ධනීෂගෙයි මගෙයි යාලු ස්ටෝරියට නම් උනේ ඒකෙ අනිත් පැත්ත. අපි දෙන්නා පොඩි කාලෙදි මූණට මූණ නොබැලුවට ලොකු වෙද්දි වෙද්දි අඳුන ගත්තා.ෆිට්වුනා. අපි දෙන්නගෙ යාලුකමට දැන් අවුරුදු හයක්.

මං දඩබඩ ගාලා ලේස්ති වෙලා අඩියට දෙකට එලියට පැන්නා. මේකා අම්මා එක්ක කදේට වැටුනොත් ඉවරයි නේ..

“අම්මා මං යනෝ…..” කියාගෙනම ධනීයවත් ඇදගෙන ගෙදර නොපේන මානෙට ම ඇවිත් තමයි අතින් අතෑරියෙ.

“මොකෝ බං ඒ උනේ” තාමත් හතිදාන ගමන් ධනීෂ ඇහුවෙ දනිස් දෙකට අත් දෙකත් ගහන් පහලට නැවෙන ගමන්. වම් අතේ වැලමිටේ ඇතුල් පැත්තෙ අලවලා තිබුන චූටි ප්ලාස්ටර් කෑල්ල දැක්කෙ මං ඒ වෙලාවෙ.

“අපෙ අම්ම මුකුත් ඇහුවෙ නෑ නේ?? මොකෝ මේ ලේ දුන්නද??” මං ඇහුවෙ එයාගෙ අතිනුත් අල්ලන් ප්ලාස්ටර් කෑල්ල අතින් ඇද ඇද ඇස්වලට එබෙන ගමන්.

ඒත් මට තිබුනෙ මගේ ආරංචිය කියන හදිස්සිය. ඒක ඇහුවට කොහොමත් මං උත්තරයක් බලාපොරොත්තු උනෙත් නෑ.

“දුවවත් එලියට බැස්සෙ නැතිකොට අම්මා බහීද බන් එලියට” හක හක ගගා හිනාවෙවීම ධනීෂ කියල දැම්මා.” ආහ් මේක මේ…..” කියල එයා ඒක ගැන කියන්න පටන් ගද්දිම මම මගේ කතාව පටන් ගත්තා.

“ආ…ඒක මිසක්..අපෙ අම්මා කිව්ව ඔයා එක්ක ටිකක් කතා කරන්න ඕන කියල..ඊට කලින් මේක කියල තියන්න එපැයි..ඒකයි දඩබඩ ගාලා ඇදන් ආවෙ..මං මුකුත් කියන්න කලින් උඹ මොනවහරි කටෙන් පැන්නුවොත්..අදත් මං හිතුවා වැඩේ හමාරයි කියල උඹ මැසේජ් එකක් කියාගෙන එද්දිම..අපෙ අම්මට මැසේජ් නුයි මගේ ෆෝන් එකයි තමයි මේ ලෝකෙන් පේන්නම බැරි.”

මොහොතක් මං දිහා එකෙල්ලෙ බලන් හිටපු ධනීෂ කෙලින් උනා.

“මොකද්ද” එයා ඇහුවෙ අර ලේ ගත්තා වගේ පෙනුන තැන අතින් අතුල්ල අතුල්ල.

“මං අරයට කැමැත්ත දුන්නා” මං කිව්වෙ දිලිසෙන ඇස්වලින්..ඇත්තටම කිව්වොත් මට ඒක කාටහරි කියාගන්නකම් ඉවසිල්ලක් නැතුව හිටියෙ..

“කාටද” මෙච්චර වෙලා තිබුන කතා කෝච්චිය එකපාරට බ්රේක් ගැහුවා.

“මහ ගොඩක් මගේ පස්සෙන් ආවයැ අනේ… දුලකට” මං කිව්වෙ ඇත්තටම තරහ ගිහින්. මේ හෝතඹුවට ඒකවත් මතක නැද්ද??

“මං කිව්වනෙ හදිසි වෙන්නෙ නැතුව ටිකක් ඉඳපන් මම හොයල බලල කියන්නම් කියල” මගේ ඇස් මඟ අරින ගමන් ධනීෂ කිව්වෙ කලකිරීමෙන්.

” උඹ හොයනකොට ඉතිං කෝච්චිය ගිහින් තියෙයි…දැන් තනිකඩව හිට්යා ඇති බං..” මං ධනීෂ ගෙ බඩට පාරක් අනින ගමන් කිව්වා.

“අම්මා මොනාහරි ඇහුවොත් උඹ කියපන් උඹ දන්න තරමින් නම් මුකුත් නෑ කියල ඈ..පහුගිය දවස් ටිකේ මං එයාට මැසේජ් කර කර ඉද්දි කීප වතාවක් අම්මා දැක්ක..ෂුවර් ෂොට් අම්ම අහවි උඹෙන්” මං කිව්වෙ ධනීෂට තව ටිකක් ලං වෙලා.

“දුලක එයා…මං උඹ?????” එහෙම කියපු ධනීෂ එකපාරටම මාවත් තනි කරලා යන්න ගියා.

“වචනයක් වැරදුනාද මන්දා” ටිකක් වෙලා එතනම හිටගෙන කල්පනා කරපු මම දුලකටත් මැසේජ් එකක් දාලා එයා එනකම් එතනම හිටියා.

දවසින් දවස මගෙයි දුලකගෙයි ආදරේ ලියලද්දි ධනීෂගෙයි මගෙයි තිබුන යාලුකම හිමීට මඟඇරිලා ගියා.

වෙනදට නෝට් ශෙයාර් කරගත්තෙ මං ධනීෂ එක්ක. එයාගෙ අකුර ලස්සනයි නෝට් පිලිවෙලයි. එයාගෙන් නෝට් ඉල්ලගෙන දවස් ගනන් තියාගෙන මම මගේ නෝට් කම්ප්ලීට් කරගත්තා.

දැන් මම බිසී. දැන් මම දුලකටත් එක්ක නෝට් ලියනවා. සමහර දාට මගේ නෝට් ලියන්කෙ නැතුව මම දුලකට නෝට් ලියල දෙනවා.

වෙනදට මම කලාතුරකින් හරි මැසේජ් කලේ ධනීෂට විතරයි.ඒත් දැන් නිතර දෙවේලෙ වයිබර්,වට්ස්ඇප්, ඉමෝ, ෆේස්බුක් එකී මෙකී නොකී හැම එකකින්ම දුලක එක්ක චැට් කරනවා.

ඒ නිසා ධනීෂට මැසේජ් එකක් දාන්නවත්, එයා දාන.එකකට රිප්ලයි දාන්නවත් අමතක වෙනවා.සමහර වෙලාවට පස්සෙ බලද්දියි දකින්නෙ එයාගෙ ගොඩක් මැසේජ් මම සීන් කරලා රිප්ලයි නොකර ඉඳල කියලා. ගොඩක් වෙලාවට ධනීෂගෙන් මට ආපු ස්ටිකර් වල තිබුනෙ කලකිරිච්ච, අසනීපෙන් ඉන්න කාටූන් රූප.

දැන් මම ක්ලාස් යන්නෙත් දුලක එක්ක. එයාව හම්බවෙන්න තියෙන හැමවෙලාවෙම එයාව දකින්න තමයි මගේ උවමනාව..

ධනීෂට මුණගැහෙන්න ඕන කිව්වත් මම ඒ මැසේජස් නොදැක්කා වගේමයි හිටියෙ. අනික මම තවදුරටත් ගොඩක් ලඟින් ධනීෂව ආස්‍රය කරන එක දුලකට හොඳ නෑ කියලයි මට හිතුනෙම.

ඒකෙන් මේකෙන් උනේ මට තනියම මගේ ගොඩක් වැඩ කරගන්න උන එක.වෙනදා ධනීෂගෙ උදව් අරන් කරපු ඉගෙන ගන්න වැඩ ටිකේ ඉඳල එකට ස්ටේජ් නගින සීන් එක වෙනකම් හැමදෙයක්ම මට තනියම කරගන්න වුනා.

හැමදාම දුලක එක්ක පරක්කු වෙලා ක්ලාස් ගියත් දුලක ⁣කොහෙන්හරි තාප්පෙකින් පැනලා ගිහින් ක්ලාස් එකේ වාඩිවුනා. හැමදාම තනියම සර්ගෙන් බැනුම් ඇහුවෙ මම. ඒ වෙලාවට කොච්චර උනත් මගේ අැස් හෙව්වෙ ධනීෂව මිසක් දුලක නෙවෙයි.ඒත් ඒ ඇස් මම සති ගානකින් පුරුදු තැන දැක්කෙ නෑ.

කොහොම උනත් ගෙවුන දවස් ධනීෂ නැති පාඩුව මට කියල දෙද්දි අම්මත් නිතර නිතර ධනීෂ ගැන ඇහුවා. මම ඒ වෙලාවෙ කිව්වෙ ධනීෂ ට කෙල්ලෙක් සෙට් වෙලා නිසා මං එක්ක සම්බන්ධයක් නැහැ කියල.

මුල් දවස්වල මම දුලකගේ ලෝකෙ අතරමං වෙලා ඒ ආදරේ විතරක් හෙව්වට පස්සෙ පස්සෙ ධනීෂ කියන චරිතෙ මගේ ජීවිතේ පුරවන්න බැරි අඩුවක් කියලා දැනුනා.

ඇත්තටම කිව්වොත් යාලුවෙක් විදියට ධනීෂ මට දීපු ආදරේ, රැකවරණය මට දුලකගෙන් ලබාගන්න බැරිවුනා .

මගේ සාංකාවත් එක්ක මාස දෙකක් විතර ගතවුනා.

ඒක උග්‍ර ම වෙච්ච එක හැන්දෑවක මම ධනීෂ ට කෝල් එකක් ගත්තා. වෙච්ච හැමදේටම සමාව ඉල්ලලා ආයෙමත් මං එක්ක යාලුවෙන්න කියන්න.

“හෙලෝ….” එහාපැත්තෙන් මං බලාපොරොත්තු වුන කටහඬ ඇහුනා.

“ධනීෂ මං හෂී..” මං ගොතගැහුවා..

“හලෝ..මචං…ඉතිං ඉතිං” ෆෝන් එක එහාපැත්තෙන් මං ආස කරපු මගේ යාලුවගෙ කටහඬ අයෙමත් ඇහුනා. ඒ කටහඬ වෙනද වගේමයි..හරිම ලෙංගතුයි..මං කරපු කිසි වෙනස්කමක සේයාවක් ඒ කටහඬේ තිබුනෙ නෑ.

“මං ගත්තෙ….මේ…..ම්…ම..මං…” ආයෙමත් සැරයක් මට වචන පැටලුනා. “මොනවද මං කියන්නෙ” මං හිතුවා

“අනේ බං පහුගිය ටිකේ මාත් සෑහෙන්න බිසී..දන්නැද්ද ඉතිං..උඹට ඉඩ තියෙන වෙලාවක ක්ලාස්වල නෝට් ටිකත් අරන් මේ පැක්තෙ වරෙන්කො…???”

එහා පැත්තෙන් ඇහුනෙ සුපුරුදු දඟකාරකම..මං සතුටින් ඉපිලුනා..
“එයාට තරහක් නෑ” මං හිතින් හිතුවා.

“හා…ආයෙත් අහල ඉතිං..මං එන්නම්කෝ…..”

එදා දවසෙම කලේ ධනීෂට ඕන කරන නෝට් එකතු කරපු එක. මගේ අපිලිවෙල පොත් ගොඩ ගොඩවල් අැද ඇද එකින් එක මං නෝට් හෙව්වා.

පහුවෙනිදා මම කුකුලත් අතේ අරන් නැගිටලා ලේස්ති වුනා.ධනීෂ මට නිතරම කැකුලි කියන ලස්සන සුදු මල් ගවුම ඇඳල කොණ්ඩෙත් තනි කරලට ගොතා ගත්තා. එයා කැමති එහෙම. මේක කොහොමත් සමාව ඉල්ලන්න යන ගමනක්නෙ.

නෝට් ගොඩාරියත් තුරුලු කරන් ගෙයින් එලියට බැස්සෙ අද දවසම එහේ ගතකරන්න හිතාගෙන.එහෙම උනොත් සම්පූර්ණ කරගන්න බැරිවුන නෝට් ටිකත් එයා එක්ක කරගන්න පුලුවන්

ධනීෂ පොඩි කාලෙ ඉදල කොයිතරම් මගේ යාලුවා උනත් එයා අපේ ගෙදර නිතර ආව ගියත් මම එයාලගෙ ගෙදර ගිහින් තියෙන්නෙ උපරිම දෙපාරයි.

ඒ නිසා එයාලගෙ ගෙදර පැත්තට හැරෙද්දි මහ කියාගන්න බැරි අමුතු හැඟීමක් මට ආවා.හරියට නිකං මට එයාට මූණ දීගන්න බෑ වගේ.

ස්ත්‍රී ධෛර්යය අරන් මම වත්තට ඇතුලු වුනා. දොර තිබුනෙ වහල.

“ඇයි යකෝ…මට එන්න කියල මේකා ගෙවල් දොරවල් වහල ගිහිල්ලද?” තිබුනු සීරියස් බව එකපාරින් මැකිලා ගියා.

ඒ කරහ පිටින්ම මම ඩයල් කලේ ධනීෂගෙ මොබයිල් එකට.

එහා පැත්තෙන් ආන්සර් කරදදිම බනින්න කට හදන් හිටියෙ. කියන්න ඕන ටිකත් රින්ග්ස් යන අතරෙදිම හදා ගත්තා.

එහා පැත්තෙන් ෆෝන් එක ආන්සර් කලා.

“ඈ මිනිහෝ…මට මේ නෝට් කන්දරාවකුත් උස්සන් එන්න කියල මොන මඟුලෙ ගියාද?? එක්කො මං එනව දැකලද දොරවල් වහගෙන ගේ අස්සට උනේ කෙල්ල වගේ ඈ..ඇරපිය දොර බහුබූතයා” මං එක හුස්මට කියවන් ගියා.

“පුතේ…මේ හෂිනි නේද?” එහාපැත්තෙන් ඇහුනෙ වියපත් කටහඬක්.. මලා..ධනුකගෙ අම්මා..මට පොලව පලන් යනන් හිතුනා

“අ….ආන්ටි”..ස්…සො..සොරි ආ..න්ටි මේ…මං….ධනීෂ ඉන්නවද?”

“පුතාට ටිකක් අසනීපයි පුතේ..දරුවව හොස්පිට්ල් ඇඩ්මිට් කලා” එහා පැත්තෙන් අැහුනෙ ඉකිබිඳින සද්දයක්.

“ම්…ම්…මොකක්?????”

ඊට පස්සෙ කටයුතු සිද්ද වුන වේගෙ මටත් හිතාගන්න බැරිතරම්. මම එකපිම්මෙ ගෙදර දිව්වෙ.අම්මටත් විස්තරේ කියලා මම එවෙලෙම හොස්පිට්ල් යන්න ලේස්ති වුනා.

“හදිසියක් නෑ අපි පස්සෙ යන්” කියල අම්මා මට පුන පුනා කිව්වත් මම විලාප තියල අඬල අම්මත් කැමති කරගත්තා.වැඩි විස්තරයක් දැනන් නොඋන්නත් මට හිතුනෙම මොකක් හරි බරපතල දෙයක් වීගෙන එනව කියල.

මම හොස්පිට්ල් එකට ගියාමයි දැනගත්තෙ ධනීෂ අසනීපෙන් ඉඳල තියෙන්කෙ මාස තුනක.විතර වෙලේ කියන වග. අයි.සී.යූ එකේ සිහිසුන්ව ඔක්සිජන් අාධාරක වලින් ඉන්න එයාව දැක්කම මට මාවම පාලනයක් නැතුව ගියා.
අඬ අඬාම මං ගියේ ධනීෂගෙ අම්මා ලඟට.

“ඊයෙ රෑ දූ එනව කියල ධනීෂ හිටියෙ හරිම සතුටින් පුතේ..දූ තරහ වුනෙත් එයාගෙ.කටින් වචනයක් වැරදිලා කියවුන හින්ද කියල පහුගිය මාස ටිකේම මාත් එක්ක කිව්ව.කීපවතාවක්ම මට කතා කරල කිව්වා හෂී එද්දි මොනවහරි ටිකක් හදල තියන්න අම්මේ කියල…අනේ දෙයියනේ එහෙම බලන් උන්නු මගේ දරුවට අද වෙච්ච දේ….”

ධනීෂගෙ අම්මා කඳුලු වැල් හලද්දි මාත් එයා එක්කම ඇඬුවා. දෙයියනේ මං කලේ මොන පාපයක්ද කියල මතක් වෙද්දි මට ඉහිලුම් නැතුව ගියා.

ධනීෂට ලේ පිළිකාවක් කියල දැනගෙන රිපෝට් එක ඇවිත් තියෙන්නෙ මාත් එක්ක තරහ වෙලා ගතවුන තුන්වෙනි දවසෙ. එදා මම අතේ ගහල තිබුන ප්ලාස්ටර් කෑල්ල දැක්කත් ඒ ගැන අහන්න මට කිසිම උවමනාවක් තිබුනෙ නෑ.මට එදා තිබුනෙ මගේ විස්තරේ කියන හදිස්සිය.

ඒත් එදා ධනීෂට උවමනා වුනා මට විස්තරේ කියන්න..එදා එයා වෙනදටත් වඩා කලින් අපේ ගෙදර ඇවිත් තියෙන්නෙ ඔය විස්තර ටික ඔක්කොම කියල හිත සැහැල්ලු කරගන්න. ඒත් ඒ වෙනුවට සිද්ද වුනේ මගේ කතා අහල හිත රිද්දගෙන අයින් වෙලා යන්න.

පස්සෙ පස්සෙ දවස් ගානකදි මට එයා කතා කරන්න උත්සාහ කලත් මම මැසේජ් සීන් කරල නොදැක්ක වගේ හිටපු නිසා ඒ අදහසුත් මඟ නැවතිලා.

කතා කරන්න යාලුවෙක්වත් නැතිව ධනීෂ දවසින් දවස ඇදිලා යද්දි එයාලගෙ අම්මා මාව හොයන් එන්න හැදුවත් ඒ ගමන නවත්තල තියෙන්නෙත් ධනීෂමයි.

එයා කියල.තියෙන්නෙ මම ලගදිම කතා කරයි කියල. ඒ විදියට මාස තුනකුත් ගෙවිල ගියාට පස්සෙ තමයි මම එයිට කතා කලේ.

මට මං ගැනම අප්පිරියාවක් දැනුනා.කොහේවත් හිටපු සති දෙකක් පස්සෙන් ආපු කොල්ලෙක් නිසා මම මගේ ජීවිතේට ලැබුනු හොඳම යාලුවා ගැන හොයන එක මඟඇරියා. ඔව්..මම මහ ජරා කෙල්ලක්..

හිකට අපෙු ආවේගෙටම මම දුලකට කෝල් එකක් ගත්තා.

“අපේ සම්බන්ධකම් මෙතනින් ඉවරයි..ප්ලීස් මට කරදර කරන්න එපා” කඳුලු පිරින ඇස් දෙකෙන් ධනීෂගෙ නිශ්චල ශරීරය වීදුරු කවුලුව අතරින් බලන් මම කියල ෆෝන් එක කට් කලා..

මම තීරණයක් ගත්තා..එයා සනීප කරගන්න පුලුවන් වේවිද විස්වාස නෑ..හැබැයි මම ඒකට උත්සාහ කරනවා..අද ඉඳං හොදම යාලුවෙක් තවත් හොදම යාලුවෙක් වෙනුවෙන් ජීවිතේමකැප කරනවා..

කඳුලු අතරින් මං හිතුවා ..

යාලුවනේ මේ කතාව පටන් ගත්තෙ මෙහෙම ඉවර කරන්න හිතන් නෙවෙයි..ඒත් මෙහෙම ලියවුනා..අවංකවම මම කියන්නෙ කෙටිකාලීනව ඔයාලගෙ රැකවරණෙට ආව අයට වඩා ඔයාගෙ අවශ්‍යතාවය තදින්ම දැනෙන්නෙ එයාලට වෙන්න පුලුවන්.මොකද අලුතින් ආව කෙනා ඔයාට ඔයාගෙ මුලු ලෝකෙම වෙද්ද පරණ යාලුවට ඉන්න එකම හිතවතා ඔයා වෙන්න පුලුවන්…මේ කතාව ඔයාගෙ දෙමාපියන් සහෝදර සහෝදරියන්ටත් අදාලයි..ඔයාට අලුත් කෙනෙක්.ලැබුනට එයාලට ඉන්න එකම දුක්ගන්නිරාළ ඔයා වෙන්න පුලුවන්..ඒ නිසා අලුක් බැදීම් ඇතිකරගනිද්දි පරණ බැඳීම් නැතිකරගන්න එපා..මේක කොල්ලො කෙල්ලො දෙගොල්ලන්ටම පොදුයි…

Related posts

Leave a Reply