නොපළ කඳුලු කතාවක්..

එහා පැත්තෙ ලස්සනට වහිනව..පුංචි කවුලුවෙ අස්සෙන් අත දාල ඒ වැටෙන එක පිනි බිංදුවක් අල්ලගන්න පුදුමාකාර ආසාවක් නෙලූ ට ආව..

ආයෙමත් හිතෙන හිතෙන විදියට එලිපහලියට දුවන් ගිහින් පැංචි එක්ක පිනි බිංදු අල්ලන්ක බෑ කියල දැනෙද්දි කියාගන්න බැරි මොකක්දෝ නුහුරු වේදකාවක් නෙලූගෙ කේශාන්තයෙන් පටන් අරන් පාදාන්තය දක්වාම දුවන් ගියා..

“මොකෝ බං උඹ ඔය උඩ බලං කල්පනා කොරන්නෙ”

එහා පැත්තෙ ඉඳං සෝමක්කා ඇහුවෙ නක්කලේට වගේ.

“බොටයි මටයි දෙන්නටම මේ නරකාදියෙන් ගොඩ එන ලකයක් පේන්න නෑ බං..උඹ කොච්චරවාත් ආකාහෙ දිහා බලං කල්පනා කොලත් ඔච්චර තමයි.”

නෙලූ සෝමක්ක දිහා බැලුවා.

“මට නෙවෙයි..පැංචිවවත් ඒ නරකාදියෙන් ගොඩ කරන්න තිබ්බනම් ඒ මට ඇති…” නෙලූ හිතුව විතරයි.

සිර මැදිරියෙ දොර ගාවට අවසිහියෙන් වගේ ගියපු නෙලූ යකඩ පොලු දෙකක් අස්සෙන් අත දාල එහෙම්ම පාත් උනා..එයාට ඕන උනේ කල්පනා කරන්න විතරයි.

………………………………………………………………………………………………………………………………………………..

“ස් ස්…නංගි නංගි”

දාහක් බඹරු නෙලූගෙ ලස්සනට වහ වැටිල පස්සෙන් ආවට නෙලූගෙ හිත නැවතුනේ සමන්ත අයියා ලඟ විතරයි. ඉස්සර නෙලූ උසස්පෙලට පන්ති යද්දි සමන්තත් එයාගෙ ෆුට්සයිකලෙන් නෙලූගෙ පස්සෙන් ආවෙ ඇත්තටම හිතේ බැඳිච්ච ආලවන්තකමකට වඩා නෙලූගෙ රූපෙ විඳගන්න ආසාවෙ.

ඒත් කොහොමින් කොහොම හරි නෙලූගෙ හිත සමන්ත ලඟ නවත්ත ගන්න සමන්තගෙ තලෙලු මූණටයි, උඩු රැවුලටයි පුලුවන් වුනා..

නෙලූ කියන්නෙ මහලොකු සල්ලිය බාගයක් තිබුන වාහනවලින් ආව ගිය කෙල්ලෙක් නෙවෙයි. තමන්ට පුලු පුලුවන් විදියට එකම ඇඳුම පට්ට ගහ ගහ අම්මා අමාරුවෙන් රබර් කෑල්ලෙ ගිහින් හම්බ කරන පිච්චියෙන් පංති ගාස්තු ගෙවන් උසස් පෙල කඩයිම ගොඩදාගන්න හීන බලපු තවත් එක ගමේ කෙල්ලක්.

නෙලූට බහ දාපු සමන්ත කියන්නෙත් හන්දියෙ සයිකල් කඩේ අත්උදව් දීපු කසිප්පු ගංජා එකී මෙකී නොකී හැම ජාතියක්ම රටට ලෝකෙට හොරෙන් පාවිච්චි කරපු ලෝකෙ කාලා වතුර බීපු අණ්ඩයෙක්.

“⁣නෙලූ මං අන්තිම වතාවට මේ කියන්නෙ….තමුසෙට මාත් එක්ක එන්න පුලුවන් එහෙමත් නැත්තං මාව අමතක කරල දාන්න පුලුවන්. තමුසෙට කල වයස තව තිබුනට මට එහෙම නෑ..දැන් මගේ බඳින වයස..උඹ මට කැමති නැත්නම් මම ගෙදරට කියල වෙන කසාදයක් කරගන්නව”

⁣ඒ වෙද්දිත් අවුරුදු තිස් දෙක පන්නල තිබුන සමන්ත යන්තම් අවුරුදු දාහත පිරුන නෙලූට එක දවසක් අනෝරා වැස්සක ඇගිල්ල උරුක් කර කර කතා කලේ නෙලූගෙන් උත්තරයක් බලාපොරොත්තුවෙන්..

“මං සමන්ත අයිය එක්ක ආවොත් මගෙ ඉගෙනීමට මොකද වෙන්නෙ? අපෙ අම්මට ඉන්නෙත් මං විතරයි..මං පැදුරටත් නොකිය යන්න ගියොත් අම්ම පපුව පැලිල මැරෙයි”

ඒ වැස්සෙම හීතලේ වෙව්ල වෙව්ල නෙලූ සමන්තට කියල දැම්මෙ ඇත්තටම කෙල්ලට කියල බලාපොරොත්තු මහ හුඟක් අහස අසට ගොඩගැහිල තිබුන නිසා.

“ඉස්සෙල්ලම විභාගෙ පාස් කරගන්න..කැම්පස් යන්න බැරිවුනත් අම්මටයි මටයි කාල ඇදල ඉන්න රස්සාවක්…ඊට පස්සෙ හිමීට දෑවැද්දත් එකතු කරගන්න ඕනි..යන තැනකට අත වන වන යන්න බෑ නේ… ”

තනියම ඉද්දි නෙලූ හිතුවෙ එහෙමයි.

ඒත් කාරණා කාරණා සිද්ධ වුනේ ඒ හිතපු විදියට නෙවෙයි කියල හිතද්දි හිර කුටියෙ ඉඳන් කෑ ගහල අඬන්න තරම් ආවේගයක් නෙලූට එනව. නෙලූගෙයි පැංචිගෙයි කඳුලු කතාවට වග.කියන්න ඕන හැමෝටම සාප කරගෙන කරගෙන යන්න නෙලූට හිතෙන්නෙ ඒ වෙලාවට.

කොහොමින් කොහොම හරි ඒ අනෝරා වැස්සෙම නෙලූ සමන්ත එක්ක යන්න තීරණය කරන්නෙ නෙලූගෙ හීන ඔක්කොමත් පොදි ගහන් සමන්ත මැව්ව හීන ලෝකෙත් එක්ක.

“උඹට අපේ ගෙදර කරන්න කිසි වැඩක් නෑ..කසාදෙ රෙජිස්ටර් කරනව විතරනේ..ඉන් පස්සෙ කැමතිනම් ගෙදර ගිහින් පාඩම් වැඩ ටික කරන්න පුලුවං..කැමතිනම් ගෙදරම ඉන්න නැත්තං අපේ ගෙදර උනත් නිදහස් පරිසරේ ..මම කිසිම තහංචියක් දාන්නෙ නෑ කිසිම දේකට”

එහෙම කියල සමන්ත නෙලූව එක්කන් ගියත් වුනේ ඒකෙ අනිත් පැත්ත.

කෙල්ලට සිද්ද වුනේ ගියපු වෙලේ ඉඳල පොත් පත් ටික පැත්තකින් තියල මැරෙන්න වැටිල හිටපු සමන්තගේ අම්මට සාත්තු කරන්න. උයන්න පිහන්න. සමන්තගේ අඩත්තේට්ටම් විඳින්න.

අඩුම තරමේ තමන්ට ගෙදරක් තියෙනව කියන එකවත් මතක් කරගන්න ඉඩ අවකාශයක් සමන්ත නෙලුට තිබ්බෙම නෑ.

කොහොම මොනදේ කරත් හොරෙන් හොරෙන් හරි මහ රෑට පුලු පුලුවන් විදියට කුප්පි ලාම්පුවක් පත්තු කරන් පොතක් පතක් බලාගන්න, හොරාට සමන්තගෙ ෆෝන් එක අරන් දේදුනුට කෝල් එකක් දීලා එදා පංතියෙ කරපු පාඩම අහගන්න තිබුන අවස්ථාවත් නෙලූගෙන් මඟහැරිල ගියේ පැංචි නෙලූගෙ බඩට ආවට පස්සෙ.

“සමන්ත”

“හ්ම්”

“ලබන මාසෙ තමයි අපේ වස්තුව එලියට එන්නෙ”

තමන්ගෙ කුලුඳුල් දරු සිඟිත්ත නිසා සමන්තත් ඒ ගැන හිටියෙ පුදුම සතුටකින්. සමන්තට ඕන කලේ පුතෙක්. නෙලූ වැඩිපුර ආසකලේ දූ පොඩ්ඩකට..ගවුම් අන්දල හැඩවැඩ කරල තමන්ට යන්න බැරිවුන තැනට යවන්න දූ පැට්ටෙක්.

“හෙට මට පොඩි වැඩ වගේකට කොළඹ යන්න වෙනව නෙලූ..මාසයක් විතර වැඩ වැටෙයි.දන්නවනෙ ඉතිං ඒවයෙ වැඩක් පටන් ගත්තම..ඉවර වෙනකං ආයෙ හෙවිල්ලක් බැලිල්ලක් නෑ වැඩ නේ.මං එහා පැත්තෙ කුසුමක්කට කියල යන්නං ටිකක් හෙවිල්ලෙන්.ඉන්න කියල”

සමන්ත එදා රෑ නෙලූට කිව්වෙ වගේ විත්තියක් නැතුව වගේ. ඒ කාලෙ සමන්ත එක එක කොන්ත්‍රාත් වැඩවලට අත්උදව් දෙන්න පටන් ගත්ත කාලෙ…

“යන ගමන.නවත්තලත් බෑ..කොහොම හරි අපි කාල ඇඳල ඉන්න රස්සාවනේ…”නෙලූ හිතුවෙ එහෙම

පැටියා ලැබෙන දින ලං වෙනකොට නෙලු හිටියෙ පුදුමාකාර අමාරුවකින්. ලෙඩ ඇදේ උන්නු සමන්තගෙ අම්මගෙත් සියලුම දේ කරගෙන තමන්ගෙ වැඩ ටිකත් කරගන්න නෙලූ අපා දුක් වින්දා.

දරුවා ලැබෙන්න රෝහල්ගත වෙන්න නෙලුට පුලුවන්කම ලැබුනෙ යංතම් එහාපැත්තෙ කුසුමක්කගෙ පිහිටෙන්.ඒත් වැට අයිනට ගිහින හතර පස් වතාවක් විලාප දුන්නට පස්සෙ.

දරුවා ලැබුනට පස්සෙ සමන්ත තකහනියෙ සෙන්ට් පවුඩර් ලොට් එකක් උස්සන් දරුවව බලන්න ආවෙ මහ උජාරුවට.

ඒත් ඒ සේරම රෙස්පෙක්ට් බැස්සෙ දරුව අතට ගත්තු වෙලාවෙ.

“ගෑනු දරුවෙක්නෙ” මූණ පුලුටු කරන් සමන්ත කිව්වෙ දරුවගෙ මූණවත් හරියට නොබලා ආයෙමත් නෙලූ අතට දෙන ගමන්.

“කෙල්ලෙක් කියන්නෙ ඉකිං සමන්ත මල්ලියෙ වගකීම් ගොන්නක් තමා..දන්නැද්ද අදකාලෙ..සේරටෝම හපන් උන්ව පරෙස්සං කොරන්න ගියාම”

මුලු ඉස්පිරිතාලෙටම ඇහෙන්න කුසුමක්ක කියද්දිම සමන්ත සේරම දමල ගහල යන්න ගියේ නෙලූ ට මුකුත් හිතාගන්නත් නොතියා.

හා හා පුරා කියල දරුවා ගෙදරට ගෙනාවත් හරි සමන්තගෙ අම්මා අන්ත්‍රා වුනා. ඒකටත් සමන්ත වෛර බැන්දෙ කොහේවත් හිටිය අහිංසක කෙලි පොඩිත්ත එක්ක.

දරුවා ඇඬුවත් හිනා වුනත් ඒ හැමදේම සමන්තට පෙන්නන්න බැරිවුනා. තැන් තැන්වල තියෙන දරුවගෙ සෙල්ලම් බඩු කෑලි දකින දකින වෙලාවට පයින් ගහගෙන යන්න සමහර වෙලාවට ⁣බිම දාල පොඩි කරන්නත් සමන්ත කුරිරු වුනා.

“ගෙදෙට්ට වැඩැම්මුව විතරයි අම්ම මරා ගත්තා. ඒ මදිවට දැන් අපිටත් කිසිම වගතුවක් නෑ..ගෙදරම මුස්පේන්තුයි මේ අඬෝවැඩියාවට”

අවුරුද්දෙන් වැඩි හරියක් ගෙදරට වෙලා නිකන් ඉන්න පුරුදු වුන සමන්ත පැංචිට බැන අඬගහන්න ගත්තෙ ඒ විදියට.කවම කවදාකවත් දෝතට අරන් ඩිංගක් හුරතල් කරන්න, වෙන අප්පච්චිල වගේ දෝනිලාව පිටේ තියන් අස්සය ගෝන් ටික් ටික් යන්න ඒ තාත්තට වගතුවක් තිබ්බෙ නෑ.

කොහොම නමුත් මේ සේරම එක්ක හැමදේමත් සමබර කරන් ජීවිතේ ගැටගහගත්න නෙලූට සිද්ධ වුනා.තමන්ගෙම ලෙයින් ඉපදිච්චි කෙලි පොඩිත්තට එයාගෙම තාත්ත වෙනස්කම් කරනකොට බලන් ඉන්න බැරිවුනත් කට පියන් හැමදේම නෙලූ ඉවසගත්තෙ කටගහන් ගිහිං කිසිදෙයක් ගන්න බෑ කියල දන්න නිසා.

හැබැයි ඒ හැමදේම වෙනස් වෙන්නත්, නෙලූගෙ හැංගිලා උන්නු මෘගය අවදි කරන්නත් එක මූසල හැන්දෑවකට පුලුවන් උනා. ඒ වෙද්දි පැංචිට අවුරුදු තුනක්…

“නෙලූ…නෙලුවෝ….කොහෙද බං මේ ගෑනි ඈ”

“මෙහේ ඉන්නෝ….”

“මෙහෙ වරෙං ගෑනියේ ඉක්මනට විස්තරයක් කියන්න” සමන්ත ඉස්සරහ පුටුවෙ හාන්සි වෙන සද්දෙත් නෙලූට ඇහුනා.

“මං මේ දරුවට කවන ගමන්..ටිකක් ඉන්න ඉක්මනට එන්නං” නෙලූත් කියල දැම්මෙ වැඩිපුර හිතන්නෙ නැතිව.

හාන්සි පුටුවෙ කිරිකිරි සද්දෙ නැවත ඇහුන හැටියෙන් නෙලූ හිතාගත්ත සමන්ත කාමරේට එන විත්තිය.

“මේ අහපන්කො විස්තරේ”

“හ්ම්” දැං නාහෙට නාහන වයස නිසාත්, දාංගලේ අඩුවක් නැති නිසාත් පැංචිගෙ පස්සෙන් බත් කටක් කවන්න දුවන ගමන් වැඩි සැලකිල්ලක් නැතිව නෙලූ එහෙම කිව්ව.

“උඹට අහන්න ඕනද නැද්ද” සමන්ත උළුවස්සට හේත්තු වෙලා කාමරේ දොර රෙද්ද මෑත් කරලම ඇහුවෙ විස්තරේ වැදගත් නිසා.

“ඉතිං කියන්න..මං අහන් ඉන්නෙ..පේනවනේ මං වැඩක්” නෙලූත් ඒ වෙලේට ආව ආවේගෙට හයියෙන් හයියෙන් කියල දැම්මෙ පොඩි එකී පස්සෙ දුවලත් හති වැටිල හිටිය නිසා.

එකපාරටම ගේ වටේ රවුමක් දුවල කාමරේට එනගමන් හිටපු පැංචි දුවගෙන ම ඇවිත් සමන්තගේ දණහිසේ හැප්පුනේ එකපාරටම.

“මේ මොන මලවදයක්ද? කොයිවෙලේ බැලුවත් මේකිගෙ පස්සෙම වැටිල තමුසෙත්..ඇයි තොට දැන් මගෙන් වැඩක් නැද්ද…ඈ ගෑණියෙ” තමන් නොසලකා හැරීමත්, දරුවගෙ අනපේක්ෂිත හැප්පීමත් නිසා තරහින් හිටපු සමන්ත කෑ ගහල ඇහුවෙ පැංචිව අල්ලල විසි කරන ගමන්.

වේගෙට විසි වුන පැංචි එතනම තිබුන බිත්තියෙ වැදිලා බිමට වැටුනෙ නිසොල්මන්ව.

එකපාරට වුන මේ දෙයත් ,කාලයක් තිස්සෙ හිරකරන් හිටපු හැඟීම්නුත් ගිනි කන්දක් පුපුරන්නා වගේ කඩාගෙන ඇතුලාන්තයෙන් එලියට එද්දි නෙලූත් අවසිහියෙන් වගේ ලං වුනේ සමන්ත ලඟට..

ඒ වෙද්දි නිශ්චලව තිබුන පැංචිගෙ පුංචි සිරුර නෙලූගෙ හැඟිම් තව තවත් ඇවිස්සුව කිව්වොත් ඒක වැරදි වුනේ නැහැ.

එකපාරටම එහාපැත්තෙ තිබුන විසාල මල් වාස් එක උස්සල ගත්ත නෙලූ ඒක සමන්තගෙ ඔලුව උඩටම අතෑරියෙ පිස්සියක් වගේ කියව කියව.

“මගේ ජීවිතෙත් විනාස කරල උඹ මගේ දරුවවත් මරාගත්ත නේද මිනිහෝ”

…………………………………………………………………………………………………………………..

ආයෙත් සිහිය එද්දි නෙලූ හිටිවෙ ඉස්පිරිතාලෙක ඇඳක් උඩ. රෝහලේ කාර්යමණ්ඩයමයි පොලිස් මහත්තුරු නෝනල වගේකුයි නෙලූගෙ ඇඳ වටේට පිරිල හිටිය.

යන්තම් කෙලින් කටින් ඇවිදගන්න පුලුවන් ⁣වෙද්දිම නිලූට වුනේ හිරගෙදර හිරබත්වල රහ බලන්න.ඒ මිනීමැරීමේ වැරැද්දට.නෙලූගෙ ඒ දරුණු පාරින් සමන්ත මේ ලෝකෙ අතහැරල ගිහින් තිබුනෙ කුසුමක්කල එතනට ඇවිත් තුන්දෙනාවම ඉස්පිරිතාලෙට ඇතුල් කලාටත් පස්සෙයි.

බිත්තියෙ වැදුනු පාරින් සිහිනැතිව හිටපු පැංචි අද පරිවාස භාරයේ තනිකමින් වේදනා විඳිනව. එයාට දැන් අම්මගෙ උණුහුමත් නැතිවෙලා.

මේ සේරම හිතේ තදකරන් නෙලූ හිරගෙදර බිත්ති හතරට කොටුවෙලා සෝමක්කල වගේ මිනිස්සු එක්ක තනිවෙලා ජීවිතේ කරපු කියපු දේවල් ගැන හිත හිතා තනියම ලත වෙනව.

නෙලූගෙ අහිංසක අම්මා පුලුපුලුවන් විදියට අවස්ථාවක් ලැබෙන විදියකට මාරුවෙන් මාරුවට නෙලුගෙයි, අර අහිංසක දරු සිඟිත්තිගෙයි මූනු බලල එන්න බැරි මරගාතෙ බන්ධනාගාරෙටයි, අනාථ නිවාසෙටයි ගාටනව..එතනින් එහාට හැමෝම ගොලුයි.

 

Related posts

Leave a Reply