පරිපූර්ණ ස්නේහයක්….

මං කතාවක් කියන්න යන්නෙ….

ඔව්..ඒත් ඒක තනි කතාවක් නෙවෙයි…

මොකද මගේ ජීවිතේ දැන් තනියම ගෙනියන්න පුලුවන්කමක් නැති නිසා…මගේ ජීවිතේ දැන් සම්පුර්ණ වෙන්නෙ තව කෙනෙක් එක්ක..

මං මෙහෙම පටන් ගන්නං..

මට කාත් කවුරුවක් නෑ..අම්මා අප්පච්චි නැතිවුනත් හරි මම හැදුනෙ එක එක ගෙවල්වල..මං එයාලට හිසරදයක් වුනා…මං හිටියෙ හරි පීඩනයකින්.නෑදෑයන්ගෙන් වුනත් බැනුම් අහපු, විහිලුවට ලක්වුන අවස්ථා එමටයි…

ඒකෙ ප්රතිඵලයක් හැටියට මට ලැබුන දායාදෙ පාලනය කල නොහැකි තරහව….මං කැමති නෑ වැරදිලාවක් කාගෙන්වත් විහිලුවකට ලක්වෙන්න..නිතරම මට ඕන වුනේ පර්ෆෙක්ට් වෙන්න.එහෙම නොවුන තැන, මට තරහ යනව.

ජීවිතේ එක්තරා කාලයක් වෙනකම් මං හංවඩු ගැහුනෙ ගිනිබෝලයක් විදියට.මොකදමං හිතුවෙ මගේ විදියට, මං ගැන විතරයි….

…………………………………………………………………………………………………………………………………….

“මොකක්ද ඕයි තමුසෙ උඩ බලන්ද යන්නෙ?? බලනවා මගේ බ්ලව්ස් එකම ඉවරයිනෙ..ශිට්”

එදා මට ආව කේන්තිය ඇත්තටම පාලනය කරගන්න බැරිවුනා. ඒ බව මගේ මූණෙනුත් පේන්න ඇති.

එදා මං නවීනා රිසෝර්ට් එකේ බීච් එක පැත්තට වෙන්න තිබුන පුටුවක වාඩි වෙලා හිටියෙ මගේ යාලුවෙක් එනකම්.

මං ආවා කලින් වැඩි නිසාත්, දේදුනු එන්න තව කල් තියෙක නිසාත් මං එතනම හිටපු වේටර් බෝයි කෙනෙකුට අඬගහල ඩ්රින්ක් එකක් ගේන්න කිව්වෙ දේදුනු එද්දි කොහොමත් කිව්ව වෙලාවට වඩා පැය බාගයක්වත් පරක්කු වෙන නිසා.

එදා දේදුනු ආවෙ මට විශේෂ ගමනක්..කොටින්ම කිව්වොත් දේදුනු ඒන්නෙ මට මනමාලයෙක් කතා කරන්න.

මං ඇඳන් හිටියෙ ලා කහපාට මං ආසම බ්ලව්ස් එකක්…මං එ්ක ඇඳන් ආවෙ හිතලමයි.මොකද.මං දන්නව ඒ බ්ලව්ස් එකට මාව තව ටිකක් වැඩිපුර කැපිල.පේනව කියල.

මගේ කල්පනා ලෝකෙ එකපාරටම කැඩිල බිඳිල සුනුවිසුනු වෙලා යන්න ගියේ බීම එක ඕඩර් කරපු වෙලාවෙ ඉඳන් විනාඩි දහයක් විතරයි.

“ආ…..හ්……”

බීම වීදුරුව අරන් ආපු වේටර් කොල්ලා මොකක හරි පැටලිලා මගේ ඇඟටම කඩා වැටුනා.

බීම එක මං ආසම බ්ලව්ස් එක පුරාම ඉහිරිලා.

“අනේ….සොරි සොරි..මිස්…..අයි ඈම් වෙරි සොරි….මිස් වොෂ් රූම් එක අර පැත්තෙ”

කොල්ලා කියවනව..හැබැයි කොල්ල මවාපාපු තරම් බයාදු බවක්වත්, බයක්වත් මට කොල්ලගෙන් පෙනුනෙ නැහැ.හරියට එයා ඒක හිතලම කලා වගේ…

බ්ලව්ස් එක දිගේ ගලන බීම පිහද පිහදා මං නැගිට්ටෙ මරුවා ආවේස වෙලා.

“මොකක්ද ඕයි..තමුසෙ උඩ බලන්ද යන්නෙ?? බලනව මගෙ බ්ලව්ස් එක..ශිට්!!..”

මං තවත් ඒ කොල්ලට බැන වැදුනා.

“බලනව මං වැදගත් මීටින් එකකට හිටියෙ.තමුසෙලාට මොකද ඉතිං..ගානක්වත් තියේද? තමුසෙ ඔය හිනාවෙනව නේද? ඉන්නව මං මේක තමුසෙගෙ බොස්ට කම්ප්ලේන් කරන්නෙ..බලන් ඉන්නව රස්සාව අතෑරල ගෙදර යන්න”

වටේ පිටේ කට්ටිය ඔක්කොම අපි දෙන්න දිහා කටවල් අරන් බලන් ඉද්දී කකුලත් පැටලි පැටලි මං යන්න හැදුවෙ ඇත්තටම මැනේජර්ට කම්ප්ලේන් කරන්න.

මට වැඩිපුර තරහ ගියේ වේටර් කොල්ලා මාව විහිලුවකට ගන්න හදපු එක..ඒක මට තේරුනා.

“ඒයි…රශී….කොහෙද මේ පැටලි පැටලි දුවන්නෙ???? ආ…..මේ මොකෝ බ්ලව්ස් එක??”

දේදුනු මගේ පිටිපස්සෙන් දුවන් ඇවිත් මාව එයාගෙ පැත්තට ඇදල ගත්තා. මාව දැකපු එයාට හිනා.

“ආ..දැන් ඔයාටත් හරි හිනාද? අනේ යනව යන්න දේදුනු..මං අද දෙකෙන් එකක් විසඳගෙන තමයි එන්නෙ”

දේදුනුගෙ සමච්චල් මූන නිසා තවත් තරහින් වෙව්ලන්න ගත්ත මම එයාවත් තල්ලු කරල දාලා යන්න හැදුවා.

“ඒයි ඒයි රශ්..පිස්සුද..ඔහොම ඉන්න..මෙහෙට එන්නකෝ….අපි ඔය කොල්ලත් එක්ක කතා කරල ගොඩින් බේරගමු..පව්නෙ රශ් අසරණ කොල්ලො..මෙතැන රස්සාව කරල ලැබෙන සොච්චමෙන් මුලු පව්ලක්ම නඩත්තු කරනවත් ඇතිනෙ”

“පව්??? ඌ හොඳ පව්..ඌ දන්නෑ කස්ටමර්ස්ලට හරියට සලකන්න.මෙතැන පිං පඩියට වැඩ කරලත් ඌ දන්නවනං මෙහෙම එකක් කරද්දි උගේ රස්සාව ගහල යනව කියල ඌ ඔහොම කරන්නෑ..ෂුවර් එකටම මීට කලින් මේකගෙ අසහනේ නිසා මෙහෙම උන කිසිම කෙනෙක් මූ ගැන කම්ප්ලේන් කරල නැද්ද කොහෙද..මං අද ඌට…..”

මං ආයෙමත් අඩියක් ඉස්සරහට තිව්වා.

එතකොටම පිටිපස්සෙන් කවුදෝ හයිය අතකින් මාව ඇදල නවත්තගත්තා.

මං පිටිපස්සෙ ඉඳපු එකා දිහා බැලුවෙ ඊට වඩා තරහකින්.

වේටර් කොල්ලා!!!!

“තමුසෙ….ට මොන හයි……..”

“ශ්..ශ් ..රශ්..මිනිස්සු බලන් ඉන්නව..යං එන්න අපි ටිකක් වාඩිවෙලා කතාකරමු”

දේදුනු වේටර් කොල්ලවයි මාවයි දෙන්නම ඇදන් මං කලින් හිටපු ටේබල් එකටම ගියා.

“රශ් මේ අභිමාන්”

“අභිමාන්..මේ නපුරි තමා මං අර කිව්ව රශ්මි”

ඔය විදියට සැබෑම සප්‍රයිස් එකකින් තමයි මට අභිමාන්ව මුණ ගැහෙන්නෙ. අභිමාන් තමයි දේදුනු මට කතාකරපු කොල්ලා..

“නමේ හැටියටම හැම නිතරම රශ්මිය විහිද විහිද නේද ඉන්නෙ”

අභිමාන් හිනාවෙවී මගෙන් අහපු මුල්ම ප්රශ්නෙ එ්ක.

ඔය විදියට පටන් ගත්ත රශ්මිගෙයි, අභිමාන්ගෙයි ආදර කතාව ගෙනියන එක එච්චර ලේසි වුනේ නෑ.

ඒත් අභිමාන්ගෙ ඉවසීම නිසා මගේ තරහ පාලනය වුනා කියලයි මට හිතුනෙ.

ඒක හරියට නිකං හොට්ප්ලේට් එකක් කරන්ට් එකට ගහල ෆ්රිජ් එකක් අස්සෙ දාලා තියෙනව වගේ වැඩක්.

මං හිටියෙ නිතරම රත් වෙලා. අභිමාන් හැමනිතරම මාව නිව්වා. හැබැයි ඒකෙන් දෙන්නටම සෑහෙන්න ශක්ති ප්රමාණයක් වැයවුනා..ඉවසන්නත්, තරහ පාලනය කරගන්නත්.

ඔහොම ටික කාලයක් යද්දි මං බාහිර දේවල් ගැන තරහ ගන්න එක නතර වුනා..ඒ වෙනුවට මං තරහ ගත්තෙ අභිමාන් සම්බන්ධ දේවල්වලදි.

“අර කෙල්ල දැන් ඔයා දිහා තිස් පාරකට වැඩිය හැරිලා බැලුව..මං ඕකිට……..”

සමහර දවස්වලට අපි දෙන්නා බස් එකේ යද්දී මං දත්මිටි කන්නෙ එහෙම කිය කියා.

“ඔය පුංචිලගෙ දූලයි, මාමගෙ දූලයි එක්ක ඔච්චර වෙලා මොනවද මල් කඩන්න තියෙන්නෙ ආ? ඔයාට ගත්තොත් ලයින් බිසී..හේතුව ඇහුවම පුංචිගෙ දූට කැම්පස් ඇප්ලයි කරන්න හෙල්ප් කලාලු, නැත්තං මාමගෙ දූට ජොබ් ඇප්ලිකේෂන් එකක් පුරවන්න කියල දුන්නලු..උන් ගැන හොය හොය ඉන්නෙ ඔයාට මං ගැන හොයන්න වෙලා නැද්ද??”

ගොඩක් වෙලාවට මං වෙව්ලන වෙව්ලිල්ල එයා දරා ගත්තෙ කටපුරාම මවාගත්ත ලස්සන හිනාවකින්.
………………………………………………………………………………………………………..

“රශ්…මට ඔයාට කියන්න දෙයක් තියෙනවා”

ඔය විදියට අපේ ආදර කතාව ගලාගෙන යද්දි දවසක් දේදුනුගෙන් මට කෝල් එකක් ආවා. එයාගෙ කතාවෙ තිබුනෙ බැරෑරුම් බවක්.

මං හිටියෙ අභිමාන්ව මුණගැහෙන්න යන්න ලේස්ති වෙනගමන්. අද එයා අලුත් ජොබ් එකකට ගියා..ඉතිං හවසට ටිකක් මුණගැහිල ටිකක් කතාකරන්න අපි දෙන්නම ප්ලෑන් කලේ අපොයින්ට්මන්ට් ලෙටර් එක ආව දවසෙ ඉඳන්ම.

“මේ…..රශ්…ඔයා දැන් කොහෙහරි යන්නද ලේස්තිය?”

“ඔව් දේදුනු මං මේ අභී ව මුනගැහෙන්න යන්න ලේස්ති වෙන ගමන්…..ඇයි? මුකුත් උවමනාවක්ද?”

කණ්නාඩියෙන් බලන් ලිප්ස්ටික් ටිකක් උඩින් තවර ගන්න ගමන් මං ඇහුවෙ දේදුනුගෙන්.

“මං දැන් ඔයාලගෙ ගෙදරට එන්නං..මාත් එක්ක පොඩි ගමනක් ගිහින් එන්න පුලුවන්ද? මං ඔයාට ඕන තැනින් ආයෙ බස්සන්නං”

“ම්ම්ම්…හදිසි වැඩක්ද දේදුනු?? මට පරක්කු වෙන්න බෑ ඒකයි”

“ආ…..මේ…..නෑ…..මේ……මට හොස්පිට්ල් එකට පොඩ්ඩක් ගිහින් එන්න..කවුරුත් නෑනේ මේ වෙලාවෙ කතා කරගන්නත්”

දේදුනුට නොකරන උදව්වක් මට තිබුනෙ නෑ. මං අභීට මැසේජ් එකක් තිව්වා. එයා මේ වෙලාවෙ පාරෙ..ඒ නිසා කොල් කරල බෑ..බයික් එකෙන් බැහැපු වෙලාවක දකින්නැතෑ..

“අභී..මං දේදුනු එක්ක පොඩ්ඩක් හොස්පිට්ල් එකට ගිහින් එන්න යනවා.එයාට කවුරුත් නෑලු මේ වෙලාවෙ එක්කන් යන්න..පව්නෙ කෙල්ල..මං පුලුවන් ඉක්මනට එන්නං”

දේදුනු එක්ක යන ගමන් මං මැසේජ් එක දැම්මෙ ඒ විදියට.

දේදුනුගෙ වාහනේ හැරවුනේ නාරාහේන්පිට හරියෙ තිබුන ප්රයිවේට් හොස්පිට්ල් එකක් ලඟ.

“යංකෝ”

දේදුනු මොහොතක් මං දිහා බලන් ඉඳල වාහනෙන් බැහැලා මාවත් අරන් හොස්පිට්ල් එක ඇතුලටම ගියා.

කොරිඩෝ කීයක් පහුකරන් ගියාද දන්නෙ නෑ.අන්තිමේදි දේදුනු එක දොරක් ඇරියා. දේදුනුගෙ පිටිපස්සෙන් මං ඇතුලු වුනා.

“මගෙ දෙයියනේ…………….අභී??????????????”

එදා මං අඬපු තරම් දැක්කෙ දේදුනුයි අභීගෙ පවුලෙ අයයි විතරයි. ඒ මං මගේ හැඟීම් කඳුලකින් පිටකරපු පලවෙනිම අවස්ථාව…අභීට සිහියක් තිබුනෙ නෑ. වැඩ ඉවරවෙලා අභී එද්දි තමයි ඇක්සිඩන්ට් එක වෙලා තිබුනෙ…..අභීගෙ දකුණු අත….දෙයියනේ ඒක නෑ….බරපතලම ඩැමේජ් වෙලා තිබුන දකුනු අත ඔපරේෂන් එකේදි අයින් කරන්න වෙලා.

මං නොදැන පැයක් දෙකක් ඇතුලෙ අභීට මෙහෙම උනේ කොහොමද??

ඒක මට අදටත් උත්තර හොයාගන්න බැරි ප්රශ්නයක් වුනා.
……………………………………………………………………………………

ඔය විදියට කාලෙ ගෙවුනා.

අභීට නැතිවුනේ එයාගෙ දකුණු අත..එයාට හැමදෙයක්ම මුල ඉඳලම පුරුදු වෙන්න උනා.

එයා අලුත් ජිවිතේට දවසින් දවස හුරුවෙද්දී එයාට මං ගැන හොයන්න වෙලාවක් නැතිවුනා.

ඇත්තටම කිව්වොත් එයා මාව උවමනාවෙන්ම මඟ ඇරියා. මං හිතුවෙ එහෙම.

වෙනද පැයකට පැය දෙකට සැරයක් කෝල් එකක්, මැසේජ් එකක් තියන අභීගෙන් පස්සෙ පස්සෙ කෝල් එකක්, මැසේජ් එකක්, අඩු තරමෙ මං අරගත්තමවත් වැඩිපුර වචන දෙකක් කතාකරවගන්න බැරිවුනා.

ඒකෙන් සිද්ධ වුනේ පරන රශ්මි ආයෙත් එලියට ආපු එක.

අභීගෙ කරුණාව දයාව නැතුව මගේ හිත ආයෙමත් නිතරම කරන්ට් එකට ගහපු හොට් ප්ලේට් එකක් වුනා.

ඒ තරහව ලෙඩෙක් වුන,මගේ ආදරේ වුන අභී ඉස්සරහවත් නම්යශීලී වෙන්න මට අවස්ථාවක් දුන්නෙනෑ.

“එයා කතා කරන්නෙ නැත්තෙ එයාට ඔයාව එපා නිසානෙ? කොල්ලෙක්ගෙ පස්සෙන් උනත් ඔච්චර වැඳගෙන යන්න එපා..තුන්වේලම කට්ටිය වටකරන් ඉන්න එයාට දැන් ඔයාගෙන් ඇති වැඩක් නෑහ්..අනික එයා දැං අබ්බගාතයා..කවද හරි කරගැහුවොත් ඔයාටම තමා විඳවන්න වෙන්නෙ”

ගිනියම් වුන මගෙ හිත මට කිව්වෙ එහෙම.

“මටත් මොකෝ…..”

මං හැමෝමත් එක්ක තිබුන සම්බන්ධතා නැවැත්තුවා.

අභීගෙ නම්බර් එක ඩිලීට් කරලම දැම්මා. දේදුනුගෙ නම්බර් එක බ්ලොක් කලා.

දේදුනු කීප වතාවක්ම මාව කන්ටැක් කරගන්න හැදුවා. එක එක නම්බර් වලින් මට කතා කලා.මැසේජ් දාලා තිබුනා.

“රශ්, ඔයා මොකක්ද මේ කරගන්න හදන්නෙ??”

ඔය විදිහෙ මැසේජස් ගොඩක් එක එක නම්බර්ස්වලින් මට ආවා. බැරිම තැන මං නම්බර් එකත් මාරු කලා.

මං හිටියෙ ආයෙමත් තරහින්.

“කවුරුවත් මං ගැන හිතන්නෙ නෑ..හැමෝටම ඕන තමන්ගැන හිතන්න විතරයි..අනික ඔය දේදුනු, ඕකි මට කතා කරන්නෙ මට ආදරේට නෙවෙයි..මොකද මං අභීගෙ පස්සෙන් වැඳගෙන යන්නැත්තෙ කියල අහන්න”

හිත කිව්වෙ එහෙම..

දවස් ගානක් දේදුනු මගේ ගෙදර ඉස්සරහ රස්තියාදු වුනා.ලියුම් කෑලි දාලා තිබුනා. ඒ සේරම මං ඇරල බලන්නෙවත් නැතුව පුච්චල දැම්මා.

කෙනෙක් මං දිහා බැලුවත් මාව පිච්චිලා යන තරම් තරහක් මට තිබුනෙ.

…………………………………………………………………………………

අභී එක්ක තිබුන සම්බන්ධතා නැවැත්තවට පස්සෙ මං යන එන පාරවලුත් වෙනස් කලා. කොයි වෙලේක හරි අභී හරි, දේදුනු හරි මගෙ පස්සෙන් එයි කියල මට හිතිල තිබුනෙ.

ඒ වෙනුවට මං තෝරගත්තෙ කෝච්චිය.

ඒක ලේසියි, පහසුයි වගේම කිසිම කරදරයක් නැතුව පාඩුවෙ ගිහින් එන්න පුලුවන් නිසා.

එදත් මං ඔෆිස් එකේ ඉදං ස්ටේෂන් එකට ආවෙ වෙනද වෙලාවට.

අව් කාස්ටකේ පිච්චි පිච්චි ආව නිසාද කොහෙද අදත් වටපිටාව ගැන තිබුනෙ වෙනදටත් වඩා නොරිස්සුමක්.

ස්ටේෂන් එකට එන්න ශෝට් කට් එකක් තියෙනවා.කෝච්චි පාර මැද්දෙන් ඇවිත් ස්ටේෂන් එකට ගොඩවෙන්න. ගොඩක් කොල්ලො විතරක් පාවිච්චි කරන ඒ පාර මාත් පාවිච්චි කරේ කොහොමත් මං සෙකන්ඩ් වෙන්න කැමති නැති නිසා.

එදත් මං ආවෙ රේල් පීල්ල් දිගේ..

ඒ එක්කම මට කෝල් එකක් ආවා…

ඔරවා ඔරවා බෑග් එක ඇදලා ෆෝන් එක අරගනිද්දි ෆෝන් එක කට් වුනා.

“මඟුල!”

මං ෆෝන් එක දාගන්න යද්දී ආයෙම රින්ග්ස් ගියා.

“හෙලෝ?”

එහා පැත්තෙන් තියලා.

“මොන මඟුලක්ද මේක??? ”

මං ආයම ෆෝන් එක දාගත්තා.

ආයෙ රින්ග්ස් යනවා.

“මොන අසහනකාරයෙක්ද යකෝ මේ” ඒ වෙද්දි මගේ රතුකට්ට උපරිමේටම පැනලා.

මට උන්හිටිතැන් අමතක වෙලා තිබුනෙ.

ආයෙත් කට් වුනා.

තරහෙන් වෙව්ල වෙව්ල මං ඒ නම්බර් එකට ආයෙත් ඩයල් කලේ ගත්ත එකාට හොඳවයින් අමතන්න.

“මේ ඕයි…..” එහාපැත්තෙන් හෙලෝ කියන්නත් කලින් මං කෑගැහුවා.

“රශ්……කෝච්චිය!!!!!!”

ස්ටේෂම පැත්තෙන් කවුදෝ නොණ්ඩි ගගහා කෑ ගහගෙන ආවා..

මං ඒ වෙලාවෙදියි පිටිපස්ස බැලුවෙ…මං එහා පැත්තට පැන්නා…

……………………………………………………………………………………………..

“රශ්ට මේ විදියට ජීවිතේට මූණ දෙන්න සෑහෙන්න අමාරු වෙයි”

කවුරු හරි මුමුණනව ඇහුනා.

මං පියවිලා තිබුන ඇස්දෙක ඇරියෙ අමාරුවෙන්…

“රශ්!!!!”

හුරුපුරුදු මූණු දෙකක් මගේ මූණට එබිකම් කලා.

“දේදුනු…..අභී??” මගෙ කටින් වචන පිටවුනේ නෑ..ඒත් එයාලා මං කියපු දේ තේරුම් ගත්තා.

අභී අහක බලාගත්තා..දේදුනු කඳුලු පුරවන් මගේ අත දෝතටම ගත්තා…

“මොකද කෙල්ලෙ මේ කරගත්තේ???”

දේදුනු මගේ උඩ ඉඳල පහලටම බල බල අඬනවා..

“ඇයි?? මො..කද??”

අමාරුවෙන් ඇඳ විට්ටමට හේත්තුවෙන ගමන් කටහඬ අරන් මං කතාකලා..

මොකක් හරි වෙනසක් තියෙනවා…මොකක්ම හරි සැහැල්ලුවක්…මං බැලුවා..දිගටම රෙද්දක් පොරවලා…

“ම….ගෙ…..කකුල් දෙක????”

දැනුන වෙනස මං අනුමාන කලා..

දේදුනු අඬ අඬාම ඔලුව හෙල්ලුවා…

“ඔයා මොකද රේල් පාරෙ කලේ දෙයියනේ???….ඔයා එහා පැත්තට පැනපු නිසා යන්තං ඔහොම හරි ඉතුරු වුනා…ඔයා කාගෙන් පලිගන්නද රශ් මෙහෙම කරගත්තෙ?”

මං අභී දිහා බැලුවා.. එයා වෙව්ලනවා..

“එතකොට මෙයාලා හිතන් ඉන්නෙ මං හිතල කෝචිචියට පැන්න කියලද?”

“මොන දේ නැතිවුනත් මං කෝච්චිවලට පනින වගේ ගොන්වැඩ කරන්නෙ නෑ”

මං අමාරුවෙන් හිනාවෙවී අභී දිහා බැලුවා.

කකුල් දෙක නැතිවුන එකට අඬන්න මගේ හිත ඉඩ දුන්නෙ නෑ..මොකද පොඩි කාලෙ ඉදන්ම මට නැතිවුන දේවල්වලදි මං කලේ හිත දැඩි කරගත්තු එකයි, තරහ ගත්තු එකයි විතරයි..

හැබැයි ජීවිතේ දෙවෙනි වතාවටත් මට අඬන්න හේතුවක් මට දීලා තිබුනා..

එච්චර ඉඩක් තිබුන කාමරේ මං වෙනුවෙන් අවංකවම හිටියෙ දෙන්නයි..ඒ දෙන්නා හිතිනුයි, කයෙනුයි දෙකෙන්ම හිටියෙ මං ගැන..මං කොච්චර නොසලකා හැරියත්, කොච්චර දුෂ්ඨකම් කලත් මං ගැන හදවතින්ම දුක් වෙනවා..

“ඔයාලට මං ගැන ඔච්චරටම දුකද???”

ඇස් අග්ගිස්සෙන් ලොකු කඳුලු ගුලියක් එලියට එන්න වලිකද්දි මං ඇහුවෙ දෙන්නා දිහාම මාරුවෙන් මාරුවට බල බලා….

“අනේ..නැ…මට නම් කිසිම දුකක් නෑ.මං කාලයක් තිස්සෙ පන වගේ බලාගත්ත, මගේ කෙල්ල මගේ වැරැද්දක් නිසා ගිහින් මගේ ඇස් ඉස්සරහදිම කෝචිචියකට බෙල්ල තියන්න යද්දි මට හරි සතුටුයි…දැන් ඒකි කකුල් දෙකක් නැතුව මගේ ඉස්සරහ ඇඳකට වැටිල කවදාවත් නැතුව අපේ හිත් රිද්දන්න බැරිකමට කඳුලු අස්සෙන් හිනාවෙන්න හදද්දි ඊටත් වඩා සතුටුයි…”

එකපාරට මං දිහා හැරිලා කඳුලු පිරුන ඇස්වලින් එහෙම කියපු අභී අනිත් පැත්ත හැරිලා යන්න ගියේ මට මුකුත්ම කියාගන්න ඉඩ නොතියම…අනිත්පැත්ත හැරිල යන එයාගෙකඩා වැටුන ශර්ට් අත තවත් බරක් මගේ හිත උඩ තිව්වා.

“ඔයා ඕවා හිතන්න එපා රශ්…අභීට දුකයි..කොල්ල ඔහොමහරි ඉන්න එක ගැන සතුටු වෙන්න ඕන අපි”

“පහුගිය ටිකේම මං ගැන වගේ වගක් නැතුව හිටි එයාට මොකද එකපාරටම මං ගැන කැක්කුමක්?”

මං ඇහුවෙ දේදුනුගෙන්…

“ඇයි රශ් ඔයා ඔහොම හිතන්නෙ අභී ගැන? ඇක්සිඩන්ට් එක ගැන එයාට හිතන්න ගොඩක් දේවල් තිබුනා..එයාට එකපාරටම ඔයාට කතාකරගන්න තරම් හයියක් තිබුනෙ නෑ..එයා මොනවද කියන්නෙ? අතක් නැති කොල්ලෙක් විදියට සම්පූර්ණ කෙල්ලෙක් නඩත්තු කරන්නෙවත් කොහොමද? එයාට වෙනද වගේ රස්සාවකට යන්නත් බෑ..අනික නැතිවුනේ එයාගෙ දකුණු අත..ඔයා හිතනවට වඩා අභී දුර හිතුවා”

“එහෙනම් ඒකද එයා මාව මඟඇරියෙ?”

“ඕකනෙ බැරි රශ්..ඔයා කවදත් තේරුම් ගත්තෙ රුවිතෙට..මුලින්ම අභීගෙ අදහස තිබුනෙ ඔයාටම තීරණයක් ගන්න දෙන්න..මොකද එයාට ඒ තත්වෙන් ඔයාට බලපෑමක් කරන්න බැරි නිසා….ඔයා මොකද කලේ?ඔයා ඒකගැන වැරදියට හිතුවා..අභීට කෝල් එකක්වත් ගත්තද ඔයා? ඔයා ඔය තරහට යටවෙලා සේරම උඩුයටිකුරු කරගත්තා.ඔයා සද්ද නැතිවෙද්දී අභී මුලින්ම මට කිව්වා මොකක් හරි අවුලක් ඇති කියල..ඒත් ඔයා අපිට කතා කරන්න එක අවස්ථාවක්වත් දුන්නද?? නෑ නේ?”

“හා දැන් ඔයා මෙහෙම හිතන්න….අභී හොඳට ඉද්දී ඔයාට මෙහෙම උනානම්, ඔය තත්වෙන් ඔයා කැමතිද අභීට බරක් වෙන්න??” දේදුනු ආයෙත් ඇහුවා.

“කීයටවත් නෑ….මං මේ විදියටම ඉඳල මැරිල යනව මිසක් ඒ රත්තරං මනුස්සයටනම් බරක් වෙන්නෙ නෑ…..”

……………………………………………………………………………………

ඒ කතාවෙන් දැන් හරියටම අවුරුද්දක් ගතවෙලා…හිතාගන්න පුලුවන්ද? අතක් නැති කොල්ලෙකුයි, කකුල් දෙකම නැති කෙල්ලකුයි කසාද බැන්දම කොහොමද කියලා??

ඔයාල හිතයි හරි අමාරුයි නේද කියල…

ඒත් මට අනුවනම්,

දැනුයි මගේ ජීවිතේ සම්පූර්ණ..ඒකයි මං පටන් ගනිද්දිම කිව්වෙ මගේ ජීවිතේ සම්පූර්ණ වෙන්නෙ තව කෙනෙක් එක්ක කියලා..ඒක එදත් එහෙමයි…

අද,

එදාටත් වැඩිය එහෙමයි….💕

-සමාප්තයි-

කාලයකින් ඔයාලට නොලියපු නිසා මාව මතකත් නැතුව ඇති..මේ කතාවට වස්තු බීජය වුනේ මං දැකපු පුංචි වීඩියෝ එකක්.ඒකෙ කෙල්ලගෙ අතක් නෑ..කොල්ලගෙ කකුල් දෙකම නෑ…හැබැයි එයාලා ජීවිතේ ගෙනියනවා…එකිනෙකාට උදව් කරගන්නවා…

ඇත්තටම කිව්වොත් අපි සම්පූර්ණ නම් අපි නිතරම හොයන්නෙත් සම්පූර්ණ ආදර කතා…

ඒත් අසම්පූර්ණ ජීවිතවල තමයි සම්පූර්ණම ජීවිත කතා ලියවෙන්නෙ….

මොකද කිව්වොත්,

එයාලා ඒ තේරීමෙන් උපරිම තෘප්තිමත්!!!

……………….

Related posts

Leave a Reply